කුඹුරු ඉඩම් ගොඩකිරීම ගැන ඇමති දැඩි තීරණයක් ගනී
March 7, 2023 04:44 pm
කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසරදීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (07) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවති කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත්කළ කරුණු සලකාබලමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.
දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදිකිරීම් සදහා විශාල වශයෙන් කුඹුරු ඉඩම් ගොඩ කෙරෙමින් පවතින බවත්, ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සහයෝගය පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.
එම කරුණු සලකාබලමින් කුඹුරු ගොඩකිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදුකර එම වාර්තාව ලබාගන්නා තෙක් කුඹුරු ඉඩම් ගොඩකිරීම තාවකාලිකව අත්හිටුවීමට මේ අනුව පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
මෙම තහනම සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා අදාළ නොවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
