ආයෝජන සන්නාම තානාපතිවරුන් 5ක් පත් කෙරේ

ආයෝජන සන්නාම තානාපතිවරුන් 5ක් පත් කෙරේ

March 2, 2023   04:44 pm

තෝරාගත් රටවල් 5ක් සඳහා ආයෝජන සන්නාම තානාපතිවරුන් 5 දෙනෙකු පත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහළ නැංවීම වෙනුවෙන් එම තානාපතිවරුන් පත්කර ඇත. 

ආයෝජනයක් කිරීමට පෙර ඕනෑම ආයෝජකයෙක් එරට සාමාන්‍ය තත්ත්වය සොයාබලන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන පුවත් විශ්වාස කළහොත් කිසිම ආයෝජකයෙක් මෙරට දෙස නොබලන බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය.

යම් රටක දේශපාලන ස්ථාවරභාවය, ශ්‍රම බළකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබඳව සිතන ආයෝජකයා, තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද කිසිවිටකත් නොසිතන බවද ඔහු පැවසීය. 

කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබාගැනීමට විශාල තරගයක නිරතවන මෙවන් අවධියක මේ පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙයි.

ඕනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සියලු පාර්ශ්වයන් ඉක්මණින් කටයුතු කළ යුතු බවත්, යල්පැන ගිය වඩාත් වෙහෙසකර ක්‍රමවේදයන්ගෙන් බැහැරව ක්ෂණිකව, විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයන් හඳුන්වාදිය යුතු බවද අමුණුගම මහතා අවධාරණය කරයි.

මෙම සන්නාම තානාපතිවරුන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වන අතර එම රටවල ආයෝජකයින් ව්‍යාපාරිකයන් අතර පිළිගැනීමට ලක් වුවන් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්,  මැලේසියාව සඳහා මොහොමඩ් හිල්මි කරීම්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි, දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර  සහ මහා බ්‍රිතාන්‍ය සඳහා කන්නයියා ගජන් යන මහත්වරුන් පත්කර තිබේ.