රවී කරුණානායකට එරෙහි බැඳුම්කර නඩු දෙකක් ගැන අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්
February 28, 2023 05:36 pm
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනුකළ නඩු දෙකකට අදාළ චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ යැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව එම නඩු ගොනුකර තිබුණි.
රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරු මේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුනි.
2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුපවරා තිබේ.
තමන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කොට එම නඩු වලින් තමන්ව ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා රවි කරුණානායක මහතා විසින් මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කල අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බව තීරණය කරමින් නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
