වෙරළට ආ අභිරහස් බෝලය

වෙරළට ආ අභිරහස් බෝලය

February 23, 2023   11:59 am

ජපානයේ වෙරළ තීරයක් වෙත ගොඩගැසූ අභිරහස් ගෝලාකාර වස්තුවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

මෙලෙස අභිරහස් වස්තුවක් ගොඩගසා ඇත්තේ ජපානයේ හමාමට්සු වෙරළ තීරයටය.

කෙසේ වෙතත් ඇතැම් බලධාරීන් එය බෝම්බයක් නොවන බවට පැවසුවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට තරකර ඇති බවය.

මීටර් 1.5ක පමණ විශ්කම්භයකින් යුතු මෙම ගෝලාකාර වස්තුව යකඩ බෝලයක් බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත.

උදෑසන වෙරළට පැමිණි නගරවාසීන් එය දැක ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කරමින් එම වෙරළ තීරය තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර අදාළ ගෝලාකාර වස්තුව දෙවන ලෝක යුද සමයේ මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් බවටද ඇතැම් විශේෂඥයින් මත පළකරමින් සිටී.

එසේම එම ගෝලාකාර වස්තුව පරීක්ෂා කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද පැමිණ ඇත.

අනතුරුව සිදුකළ එක්ස් කිරණ පරීක්ෂාවකදී එය තුළ කිසිවක් නොමැති බවට අනාවරණය වී ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත.

එම ගෝලාකාර වස්තුව එසවීමට හෝ රැඳවීමට භාවිත කළ බවට සැකකරෙන ආධාරක දෙකක් ද එහි ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර ඇත.

මේ අතර අදාළ ගෝලයේ ඡායාරුප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ ලෝකයේම අවධානය මෙම සිදුවීම වෙත යොමුව ඇත.