කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ගේ නීතිඥවරු මූලික විරෝධතා මතු කරති

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ගේ නීතිඥවරු මූලික විරෝධතා මතු කරති

February 17, 2023   01:11 pm

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට දායකවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.

ත්‍රස්ත ප්‍රහාරයක්  එල්ල වන බවට තොරතුරු දනිමින් එය පොලිසියට වසන් කළේ යැයි චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළේය.

එම මූලික විරෝධතාවලට අදාළ පිළිතුරු ලබන මස ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාට නියම කර තිබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට දැන සිටියත් ඒ පිළිබඳව පොලිසියට වසන්කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.