හදිසි තීරණය මරු කැඳවයි

හදිසි තීරණය මරු කැඳවයි

February 6, 2023   07:46 am

යාපනය - කන්කසන්තුරය මාර්ගයේ තාවඩි හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (05) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

කන්කසන්තුරය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 20 හැවිරිදි ඔඩ්ඩුමඩම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර කොළඹ - රත්නපුර මාර්ගයේ කඩුකාරදෙණිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු හඳුනා නොගත් රථයක ගැටී ඊයේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, කඩුකාරදෙනිය, කුරුවිට ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.