වකුගඩු ජාවාරමේ පළමු සැකකරු ට ඇප
January 31, 2023 01:06 pm
බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් "අද දෙරණ" උකුස්සා කළ අනාවරණයට අනුව මීට පෙර සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
මේ අතර අදාළ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු ලෙස පෙනීසිටි තවත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදීය.
සැකකරු 53 හැවිරිදි වියේ පසුවූවෙකි.
අනතුරුව අද පෙරවරුවේ සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඒ අදාළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නීති කෘත්‍යයට අදාළවය.
එහිදී බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පළමු සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේය.
එමෙන්ම නඩුවේ දෙක, තුන, සහ හතර සැකකරුවන් ලබන මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඊයේ අත්අඩංගුවට ගෙන අද (31) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.
බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් මගින් දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් ඔවුන්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.