Little Hearts වෙනුවෙන් දැවැන්ත මුදලක්

Little Hearts වෙනුවෙන් දැවැන්ත මුදලක්

January 30, 2023   09:15 pm

ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට STAR POINTS පරිත්‍යාග කරන ලෙස මනුසත් දෙරණ කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ලැබුණු ඩයලොග් STAR POINTS එකතුව රුපියල් කෝටි දෙකහමාර ඉක්මවා ගොස් තිබේ.

අපගේ ඉල්ලීමට අනුව ඔබ පරිත්‍යාග කළ STAR POINTS පරිත්‍යාගයෙන් ලද මුදල නිල වශයෙන් ලිට්ල් හාර්ට්ස් අරමුදල වෙත ප්‍රදානය කිරීම අද (3) සිදුකෙරුණි.

හදවතේ සිදුරු නිසා මෙලොව හැරයන දහස් ගණනක් වූ පුංචි පැටවුන්ගේ ජීවිත රැකගන්නට දියත් කෙරුණු ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ ඉලක්කය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් 12 කින් සමන්විත අංගසම්පූර්ණ හෘද හා වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමය.

ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 2කි.

ඊට අරමුදල් එක්රැස්කිරීම ඇරඹුණේ 2016 වසරේදීය.

ඒ මනුසත් දෙරණ සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මැදිහත්වීමෙනි.

අරමුදල සම්පාදනයේ‍ එක් පියවරක් ලෙස මනුසත් දෙරණ, ඩයලොග් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළේ සෑම වසරකම අවසන් දිනට කල්පිරෙන STAR POINTS අරමුදලට පිරිනමන ලෙසටය.

ඒ ඉල්ලීමට සංවේදී වූ කාරුණික හදවත් ලක්ෂ ගණනක් අප සමග එක්වූයේ මිනිස්කමට උපරිම අරුතක් ගෙනදෙමිනි.

පසුගිය වසර අවසානයේ පරිත්‍යාග කෙරුණු STAR POINTS, රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂ දාහතරදහස් පනස් අටයි ශත හැටහතරක මුදල (27,814,058.64) ලිට්ල් හාට්ස් අරමුදල වෙත පිරිනැමීම ඩයලොග් ආයතනයේදී අද සිදුකෙරුණි.

පරිත්‍යාගශීලී ඔබේ දායකත්වයෙන් මේ වනවිට අරමුදලට රුපියල් බිලියනයක පමණ මුදලක් එකතු වී තිබේ.

පුංචි පැටවුන්ගේ හදවත් අකලට නතරවෙන්නට ඉඩ නොදී අප හා එක්වූ සුවහසක් ඩයලොග් පාරිභෝගික ඔබ සැමට දෙරණ අප ආචාරය පිරිනමන අතර මෙම උතුම් අරමුණ සැබෑවන තෙක් අඛණ්ඩව එම දායකත්වය ලබාදෙන ලෙස මනුසත් දෙරණ ඔබෙන් යළිත් ඉල්ලා සිටියි.