තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය

තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය

January 19, 2023   09:52 am

"මම ඔයාව පුදුම කරනවා" කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ.

එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර සිසුවා මේ බව ප්‍රකාශ කර ඇත.

විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් "චූටි" නමින් ආමන්ත්‍රණය කරන පෙම්වතියට පැවසා ඇය සමඟ කොළඹ තුරඟ තරග පිටියට පැමිණි බව සැකකාර තරුණයා ප්‍රකාශ කර තිබේ.

මෙහිදී සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත්තේ ඇය තමන්ට නිරන්තරයෙන් බැන වදින බවය.

තමන් මානසික රෝගියෙක් බව පවසමින්ද තමන්ට පරිභව කරන බව සැකකාර තරුණයා පොලීසියට පවසා තිබේ.

2019 වසරේ සිට තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බවද තරුණයා පොලීසියට පවසා ඇත.

ඝාතනයට ලක්වූ තරුණිය සමඟ අදාළ තරුණයා 2020 වසරේ සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබුණද ඔහු එලෙස තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව ඇයට පවසා නොමැත.

මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව තම පෙම්වතිය දැනගත් බව සැකකාර තරුණයා සිය පාපොච්චාරණයේදී පොලීසියට පවසා ඇත.

අනතුරුව ඇය තමන් සමග අමනාප වූ බවත් ආදර සම්බන්ධය නතරකළ බවත් සැකකාර තරුණයා පවසයි.

"ඇය මට නිතරම "පිස්සා" කියලා බනිනවා" යනුවෙන් ද තරුණයා පොලීසියට පවසා ඇත.

මේ අතර තම පෙම්වතිය වෙනස් වූයේ වෙනත් සම්බන්ධයක් හේතුවෙන් දැයි තමන් සොයා බැලූ බවත් ඇයට එවැනි සම්බන්ධයක් නොතිබූ බව අනාවරණය වූ බවත් සැකකාර පෙම්වතා සිය කට උත්තරයේදී පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් ඝාතන සිදුවීම පිළිබඳව කට උත්තරය ලබාදෙමින් සැකකාර තරුණයා පවසා ඇත්තේ තමන්ට අහිමි වූ ඇය වෙනත් අයෙකුට හිමිවීම වැළැක්වීමට ඇයව ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළ බවය.

පසුගිය සෙනසුරාදා දිනයේ නැවත වරක් තමන් සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුවූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත.

ඒ අනුව ඝාතන සැලැස්මේ පළමු පියවර ලෙස ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් රුපියල් 140ක මුදලකට පිහියක් මිලදී ගත් බවද තරුණයා හෙළිදරව් කර තිබේ.

ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇත්තේ තමන් අඟහරුවාදා දිනයේ එම පිහියද බෑගයේ දමාගෙන සිය නිවසේ සිට පැමිණි බවය.

විශ්වවිද්‍යාලයේ උදෑසන පළමු දේශනයට සහභාගීවීමෙන් අනතුරුව "විශේෂ කතාවක් තියෙනවා තුරඟ තරග පිටියට යමුද කියලා මම චූටිට කිව්වා" සැකකාර තරුණයා පවසයි.

ප්‍රථමයෙන් ඝාතනයට ලක්වූ තරුණිය එයට අකමැත්ත පළකළද පසුව තමන් බලකළ නිසා ඇය කැමති වූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබේ.

එහිදී ඇයව පුදුමයට පත්කිරීමට අවශ්‍ය බව පවසා සැකකාර තරුණයා විසින් ඝාතනයට ලක්වූ තරුණියගේ දෑස් ලේන්සුවකින් බැඳ පිහියෙන් ගෙළට ඇන ඝාතනය සිදුකළ බව පොලීසියට පවසා තිබේ.

එහිදී ඝාතනයට ලක්වූ තරුණිය කෑ ගසා ලේන්සුව දෑස්වලින් ඉවත්කර උදව් ඉල්ලූ බවත් එහිදී තමන් තවත් පිහි පහරක් ඇයගේ ගෙළට එල්ලකළ බවත් සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත.

එම ස්ථානයේ සිටි පිරිස් ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණේ යැයි බියෙන් තමන් එම ස්ථානයෙන් දිවගිය බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබේ.

"පළායන මොහොතේ මම චූටි දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ චූටි කිසිදු හැලහොල්මනක් නැතුව වැටිලා හිටියා." තරුණයා එලෙස සිය වචනයෙන් පොලීසියට පවසා ඇත.

තමන් එම ස්ථානයෙන් කෙළින්ම වැල්ලම්පිටියට ගිය බවත් දුම්රියක් පැමිණෙන තුරු බලා සිටියද දුම්රියක් නොපැමිණීම හේතුවෙන් දෙවරක් සියදිවි හානිකරගැනීම සඳහා කැලණි ගඟට පැන්න බවද සැකකාර තරුණයා සිය කට උත්තරයෙන් පොලීසිය වෙත පවසා තිබේ.

මෙවැනි සිදුවිය හැකි මහා විනාශයක් ඇතිවීම වළක්වා ගැනීමට අපට කළහැක්කේ කුමක්ද. ?

මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා,

"එවැනි තත්ත්වයකට තල්ලුවෙන්න විවධ කාරණා බලපානවා. ඔහුගේ ජානමය වශයෙන් එන ආත්ම ශක්තියත් බලපානවා. ඒ වගේම විවිධ මානසික රෝගත් බලපාන්නට පුළුවන්. උදාහරණයක් විදියට විශාදය වගේ රෝග තියෙනවා නම් ඒ වගේ වෙලාවටත් අර හැඟීම් පාලනය කරගන්න බැරිවෙනවා. ඒ වගේම පෞර්ෂත්ව සාධකත් බලපාන්නට පුළුවන්. අපට හිතන්න පුළුවන් සමාජ විරෝධී පෞර්ෂත්ව සාධක වගේ දේවල් බලපාන්නට පුළුවන් මේ වගේ දේවල් කරන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය බලපාන්නටත් පුළුවන්. එතකොට මේ වගේ පුද්ගලයෙකුට මෙහෙම හැඟීමක් ආවොත් එහෙම පළවෙනි දේ තමයි මේ හැඟීම වෙනුවෙන් ක්‍රියාකරන්න හොඳ නෑ. අර ලෝකේ හැමදෙයක්ම කෙටිකාලීනයි වගේ මේ හැඟීම් කෙටිකාලීනයි. ඒ අමාරු කාලය ගතකරන්න අපි වෙනත් දෙයක් යොදාගන්න ඕන. අපි උදාහරණයක් හැටියට කියනවා ඒ අයට පුළුවන් තරම් යාලුවොත් එක්ක ඉන්න කියලා. TV බලන්න පුළුවන් TV සීරිස් එකක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රීඩාවකට යන්න පුළුවන්. වෙන ඕනෑම දෙයක් කරන්න මේක ටිකක් අමතක වෙනකල්. මේක අමතක කරන්න අමාරුයි අපි මෙහෙම කිව්වට. නමුත් මෙහෙම උත්සාහ කරලා ගැළවෙන අය කොච්චර ඉන්නවාද. ඉතාමත් හොඳයි වෙනතකට හිත යොමු කිරීමට ගැටලුවට උත්තර හොයන්න මානසික පීඩනය වැඩිනම්. අඩුමගානේ නිදාගන්න එක වැදගත්, මේ ඔක්කොම අමතක වෙලා හිත ශක්තිමත් වුණාට පස්සේ උත්තරයක් හොයන්න පුළුවන්."