ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර හිමි නොවන ලකුණු
January 14, 2023 07:42 am
බිත්තර ආනයනය කිරීමේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
රජය විසින් බිත්තර ආනයනය කිරීම සඳහා ගත් තීරණයත් සමග සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සියයට 90 ක්ම ඉන්දීය සැපයුම්කරුවන් වේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ බිත්තර ආනයනය කිරීම සඳහා කිසිදු ගැටලුවක් නොමැති වුවද ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බවය.
කිසියම් රටකින් බිත්තර ආනයනය කරන්නේ නම් අදාළ රට කුරුලු උණ රෝගයෙන් තොර රටක් විය යුතු බව ඇය පවසයි.
කෙසේවෙතත් ඉන්දියාවේ පසුගිය කාලවකවානුව තුළම කුරුලු උණ රෝගය වාර්තා වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා ආනයන අපනයන පාලක ජනරාල්ට ඊට අවශ්‍ය නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේය.
කෙසේවෙතත් බිත්තර ආනයනය කිරීමේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය වන බැවින් ඊට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් දැනටමත් ලිඛිත අවසරය ඉල්ලා ඇති බව අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.බි.අතපත්තු මහතා සඳහන් කළේය.
