ජනපතිගෙන් විශේෂ උපදෙසක්

ජනපතිගෙන් විශේෂ උපදෙසක්

November 6, 2022   12:08 pm

අන්තර්ජාතික වෙළෙඳාමේ තරගකාරීත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තකරුවන්ට වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සකසමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය.

රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවෙහි නිලධාරීන් අතර හමුවක්  ජනාධිපති කාර්යාලයේ දි ඊයේ (05) වනදා පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේය.

නිදහස් වෙළෙඳ සාකච්ඡා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම අරභයා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අපනයන සහ අපනයනාභිමුඛ සෘජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා කලාපීය හා ගෝලීය සැපයුම්දාමයන් වෙත පිවිසීම හා ගෝලීය ආර්ථිකය සමඟ නැවත සම්බන්ධවීම, දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙළෙහි මූලිකාංගයක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳපොළ තුළට තවදුරටත් අවතීර්ණ වන අතරම විශාල හා නැඟී එන ආර්ථිකයන් ඉලක්ක කරගනිමින් සිදුකරන අපනයන වර්ධනය කරගැනීම සඳහා විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති‍ කරගැනීමේ ප්‍රයත්නයක රජය මේ වනවිට යෙදී සිටී.

ඒ වෙනුවෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇති අතර, විශාල සෘජු විදේශ ආයෝජන හා අපනයන විභවතාවයක් මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් අඩපණ වී ඇති දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධන යෙදවුම්, අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ අඩු වියදමකින් ලබාගත හැකි ක්‍රමෝපායික වශයෙන් වැදගත් ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි පණ ගැන්වීම මෙම කමිටුවෙහි ප්‍රධානම කාර්යය වී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය, වාණිජ දෙපාර්තමේන්තුව යන රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.