ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී
October 28, 2022 07:02 am
ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගෙන තිබේ.
ඒ අමෙරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකටයි.
ට්විටර් මිලදී ගනිමින් ඊලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ කෙටි පණිවුඩ සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වන කුරුල්ලා නිදහස ලැබූ බවයි.
ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ සමාගමේ සහ ස්පේස් එක්ස් අභ්‍යාවකාශ සමාගමේ නිර්මාතෘ 51 හැවිරිදි ඊලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 221 පමණ වේ.
ඊලෝන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සම්පුර්ණ කළේ ඒ සඳහා අධිකරණයෙන් ඔහුට ලබාදී තිබූ කාල විරාමය අවසන් වීමට පැය කිහිපයක් තිබියදීය.
ඔහු ට්විටර් සමාජ මාධ්‍යය මිලදී ගන්නා බවට මුලින්ම ඉඟියක් කළේ පසුගිය අප්‍රේල් 4 වනදාය.
ට්විටර් කොටස්වලින් 9.2%ක් මිලදී ගත් ඔහු සමාගමේ විශාලතම කොටස් හිමියා බවට පත්වූ අතර ඉන් පසුව එහි ඉතිරි කොටස් ඩොලර් බිලියන 44 කට මිලදී ගන්නා බව කියා සිටියේය.
2006 වසරේ ජැක් ඩෝසි විසින් ප්‍රථම ට්විටර් පණිවුඩය යැවීමෙන් ආරම්භ කළ ට්විටර් ග්‍රාහක සංඛ්‍යාව මේ වනවිට මිලියන 400ක් පමණ වේ.
කෙසේ නමුත් ට්විටර් ගිණුම් සිය දහස් ගණනක් 'බොට්' නැත්නම් ව්‍යාජ ගිණුම් බව පවසමින් මස්ක් ට්විටර් මිලදී ගැනීම කල් දමමින් සිටී.
ඒ අනුව, ට්විටර් බලධාරීන්ට ගනුදෙනුව සම්පුර්ණ කරන ලෙස මස්ක් ට බලකරමින් අධිකරණය වෙත යාමට සිදුවිය.
එහිදී අධිකරණය ඔහුට නියෝග කළේ අද දිනට පෙර එම ගනුදෙනුව අවසන් කරන ලෙසටය.
ඒ, අතර මස්ක් ට්විටර් සේවකයන්ගෙන් 75% ක් ඉවත්කරන බවට රාවයක් පැතිරුණු අතර ගනුදෙනුව අවසන් කිරීමට පෙර කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ට්විටර් මුලස්ථානය වෙත ගිය මස්ක් එම සැකය දුරු කළේය.
ඔහු ට්විටර් මුලස්ථානයට නානකාමර සින්ක් එකක් රැගෙන ගියේ තමා එහි පැලපදියම් වන බවට සලකුණු කරමිනි.
ඒ අනුව, ට්විටර් සමාජ මාධ්‍යය මිලදී ගත් ඊලොන් මස්ක් එහි ප්‍රධාන විධායක ඉන්දීය සම්භවයක් සහිත ප්‍රාග් අග්රවාල්, ප්‍රධාන මුල්‍ය නිලධාරි නෙඩ් සෙගාල් සහ නීති අංශ ප්‍රධානී විජයා ගඩ්ඩේ තනතුරුවලින් පහකළේය.
ඔවුන් වහාම ට්විටර් මුලස්තානයෙන් ඉවත් කර ඇත්තේ ට්විටර් සේවකයන් අතර සිය රැකියා සුරක්ෂිතතාව පිලිබඳ කම්පනයක් ඇතිකරමිනි.
