STF වෙඩි ප්‍රහාරයෙන් කුලී ඝාතකයෙක් මරුට
October 14, 2022 01:21 pm
අහුංගල්ලේදී පසුගිය 12 වනදා ත්‍රීරෝද රියදුරෙක් ට වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් ඊයේ (13) විශේෂ කාර්ය බළකා නිලධාරීන් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
මේ අතර එම සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සඟවා තිබූ ගිනි අවි පෙන්වීමට ගිය සැකකරු එම ස්ථානයේ සඟවා තිබූ ගිනිඅවියකින් ගෙන වෙඩිතැබීමට උත්සාහකිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් මරණයට පත්විය.
එලෙස ජීවිතක්ෂයට පත්වූයේ, පසුගියදා අහුංගල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරකුට T-56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළ පොඩි ඉන්දික නැමැත්තාය.
අහුංගල්ල නගරයේ හෝටලයක් ඉදිරිපිටදී පසුගිය 12 වනදා ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුවිය.
T-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර පසුව වෙඩික්කරු මෝටර් රථයකින් පලායන අයුරුයි CCTV කැමරාවක සටහන් වී තිබුණි.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අදාළ ත්‍රිරෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළේය.
අනතුරුව වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භකර තිබුණි.
එහිදී ඊයේ (13) පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සැකකරු බලපිටිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත්තේය.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක ගිනි අවි කිහිපයක් සඟවා තිබෙන බවය.
ඒ අනුව, සැකකරුව එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු විසින් එහි තිබූ ගිනි අවියකින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
අදාළ ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත T-56 ගිනි අවි උණ්ඩ භාවිත කළ හැකි ගිනි අවියක් සහ අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.
මෙම සැකකරු 36 හැවිරිදි ඉන්දික ප්‍රභාත් හෙවත් "පොඩි ඉන්දික" නැමැත්තා බව පොලීසිය පැවසීය.
කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ගෝලයෙකු වන ඔහු කුලී පදනම මත ගිනි අවි ලබාගෙන ඝාතන සිදුකරන පුද්ගලයෙකු බව වාර්තා වේ.