රටේම අවධානය ගත් නෙළුම් කුලුනේ විශේෂ තැන් මෙන්න
September 15, 2022 07:27 pm
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන කොළඹ නෙළුම් කුලුන අද (15) මහජනතාවට විවෘත කෙරුණි.
ඒ අනුව රුපියල් 500ක හෝ 2,000ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන එය නැරඹීමට අවස්ථාව උදාවන අතර දෙස් විදෙස් ඕනෑම අයෙකුට එය නැරඹීම සඳහා අවස්ථාව පවතී.
ඒ අනුව සතියේ දිනවල පස්වරු 02 සිට රාත්‍රී 11 දක්වාත්, සතිඅන්තයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වාත් නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.
කොළඹ බේරේ වැව අසල වර්ග මීටර 30,600 කින් යුක්ත වපසරියක නෙළුම් කුලුනේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේ දෙසැම්බර් 01 වනදාය.
නෙළුම් කුලුනේ සමස්ත ඇස්තමේන්තුව අමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක් ලෙසට මුලින් ගණන් බැලුණත්, එහි ඉදිකිරීම් වසර 7කට පසු අවසන් වනවිට ඒ සඳහා වැයවී තිබුණු මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 113කි.
කෙසේවෙතත් මේ කුලුන ඉදිකිරීම සඳහා චීනයෙන් ගත් ණය මුදලෙන් තවත් ගෙවීමට ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 14ක් පමණි.
නෙළුම් පොහොට්ටුවට පහළින් ඇති පාදම කොටස මහල් 3කින් සමන්විත වන අතර එම කොටසේ ඩිජිටල් සිනමාශාලාවක් සම්මන්ත්‍රණශාලාවක්, ප්‍රසිද්ධ වාණිජ බැංකු කිහිපයක් මෙන්ම ව්‍යාපාර ආයතන සඳහා කාර්යාල ස්ථාපිත කිරීමට නියමිතය.
නෙළුම් පොහොට්ටුව සහිත කොටස මහල් 7කින් යුක්ත වෙයි.
එහි පළමු සහ දෙවන මහල් තුළ රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා වෙන් කර තිබේ.
තුන්වන සහ හතරවන මහල් තුළ උත්සවශාලා 2ක් ස්ථාපිත කර ඇති අතර පස්වන මහල වෙන් කර ඇත්තේ කැරකෙන අවන්හල සඳහාය.
නෙළුම් පොහොට්ටුව සහිත කොටසේ 7 වන මහල වෙන් වන්නේ නැරඹුම් පරිශ්‍රය සඳහාය.