පොහොට්ටු මන්ත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට
September 2, 2022 04:07 pm
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
ඒ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතාගේ දැනුම්දීම පරිදි තමාව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් නෙරපීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
එහි වගඋත්තරකරුවන් ලෙස ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මහ ලේකම්, මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම්කර තිබේ.
පෙත්සම්කාර මන්ත්‍රීවරයා කියා සිටින්නේ තමන් රජය වෙත සහාය පළකිරීමට තීරණය කිරීමෙන් පසුව පක්ෂයේ විනය කඩකළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස පක්ෂයේ මහ ලේකම් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති බවය.
ඒ අනුව පොදුජන පෙරමුණ තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් නෙරපීමට කටයුතුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.
සිය මන්ත්‍රී ධුරය අහිමිකිරීමට පෙර සාධාරණ පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු නොකළ බව පවසන පෙත්සම්කාර මන්ත්‍රීවරයා එය ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් පවසයි.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය මන්ත්‍රීධුරය අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.