මුදල් ගිල්ල පරිගණක පද්ධතිය ගැන සෙවීම විගණකාධිපතිට පැවරෙයි
June 7, 2022 09:59 pm
ඖෂධ තොග කළමණාකරණ පරිගණක පද්ධතියට ගෙවා ඇති මුදල් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට කෝප් කමිටුව විසින් විගණකාධිපතිවරයාට නිර්දේශ කර තිබේ.
එම වාර්තාව මසක් ඇතුළත ලබාදීමට නියමිතය.
පසුගියදා කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් හෙළිවූ කරුණුවලට මාධ්‍ය හමුවක් පවත්වමින් 'ඊ විස්' ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් නම් සමාගම විසින් කෝප් විමර්ශනයේ වැරදි සහගත තත්ත්වයක් ඇතැයි පවසා තිබුණි.
පසුව 2022 ජූනි 03 වනදා 'ඊ විස්' සමාගම සිය ස්ථාවරය ඉදිරිපත් කරමින් කෝප් කමිටුව වෙත වෙත ලිපියක් යොමුකර තිබුණු බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
සභාපතිවරයා පැවසුවේ 'ඊ විස්' ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් දක්වා ඇති පරිදි ඔවුන් ඉහත පද්ධතිය වෙනුවෙන් ලබාගෙන ඇතිතේ රුපියල් මිලියන 223,120,458.73ක් බවය.
එමෙන්ම මේ සම්බන්ධව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොප් කමිටුව වෙත දක්වා ඇති ලිඛිත ස්ථාවරය අනුව 'ඊ විස්' ඉන්ෆොමේෂන් සිස්ටම් ආයතනය වෙත රුපියල් මිලියන 458,591,910.6ක් ගෙවා ඇති බවත් සඳහන් කර තිබේ.
'ඊ විස්' සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 66,176,348.98ක් ගෙවා ඇති බවත් සඳහන් බව සභාපතිවරයා පැවසීය.
ඒ අනුව මුළු එකතුව රුපියල් මිලියන 524,768259.4ක් ගෙවා ඇති බව සඳහන් කොට තිබේ.
කෝප් සභාපතිවරයා විසින් මෙම වාර්තා දෙකම සභාගත කර තිබුණි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකරන විශේෂ පරීක්ෂණකයේ වාර්තාව මසක් ඇතුළත ලැබීමෙන් පසු එහි සම්පූර්ණ වාර්තාවක් රට හමුවේ තැබීමට කටයුතු කරන බව කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඊට අමතරව පසුගිය කාරක සභාවේදී මතුවූ පරිගණක පද්ධති සම්බන්ධ ගැටළුවට පිළියම් සෙවීමට තොරතුරු තාක්ෂණය සම්බන්ධ නිපුණාතාවය ඇති මෙරට තරුණ ප්‍රජාව වෙත සිදු කළ ආරාධනයට විශාල වශයෙන් ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තමා එම පිරිසට ස්තූතිවන්ත වෙන බවද කෝප් කමිටුවේ සභාපතිවරයා සඳහන් කළේය.
