දෙමටගොඩ රුවන්ගේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙකුට ස්ථාන මාරුවක්

දෙමටගොඩ රුවන්ගේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙකුට ස්ථාන මාරුවක්

March 29, 2022   11:11 am

දැනට බන්ධනාගාරගත කර සිටින හෙරොයින් ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් නමැති පුද්ගලයාට ඇප ලබාදෙන්න යැයි පවසමින් රුපියල් කෝටි එකහමාරක් ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පොලිස් නිලධාරියෙක් ගැන පරීක්ෂණ ආරම්භකර ඇති බව වාර්තා වෙයි.

දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබාදිය හැකි බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙක් රුවන්ගේ පුත්‍රයාගෙන් මුදල් ලබාගෙන ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

ඉන් එක් පුද්ගලයෙක් මහජන ආරක්ෂක ඇමතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් බව කියා ඇති අතර අනෙක් පුද්ගලයා නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකුගේ සමීපතමයෙක් බව කියා ඇති බව සඳහන් වෙයි.

මෙම පුද්ගලයින් දෙදෙනාව දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයාට හඳුන්වා දුන් බවට චෝදනා එල්ල වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නීතිවිරෝධී වත්කම් කොට්ඨාසයේ සැකකටයුතු ගනුදෙනු විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරයෙකුට ය.

එම සැකකටයුතු ගනුදෙනු සිදුවන විට චෝදනා එල්ල වී ඇති පොලිස් සැරයන්වරයා දෙමටගොඩ රුවන්ගේ හෝටලයේ සිට ඇති බවටද තොරතුරු හෙළිදරව් වී තිබේ.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර අදාළ පොලිස් නිලධාරියා ට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවද වාර්තා වෙයි.