රුසියානු යුද ටැංකිවලට දරුණු ප්‍රහාරයක්
March 11, 2022 07:14 pm
රුසියානු හමුදාව මේ වනවිට කියුව් අගනුවර ආසන්නයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එලෙස පැමිණි රුසියානු යුද ටැංකි පෙළකට යුක්‍රේන හමුදාව දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.
මේ ප්‍රහාරවලින් රුසියානු යුද ටැංකි පෙළක් විනාශයට පත්ව තිබේ.
එලෙස පැමිණි රුසියානු හමුදාව වැළැක්වීම සඳහා යුක්‍රේනය ප්‍රහාර එල්ල කිරීමත් සමග එක් ස්ථානයක දරුණු ගැටුම් ඇතිවී ඇත.
රුසියා - යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 16කි.
මේ වනවිට යුක්‍රේනයේ කාර්කිව් සහ මරියුපෝල් නගරවලටත් රුසියානු හමුදාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
මරියුපෝල් නගරයේ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය නගර වැසියන් සමූහ මිනීවලවල් තුළ මිහිදන් කරන ආකාරය ද මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර තම භාරයේ පසුවන රුසියානු සෙබළුන් 7 දෙනෙකු සම්බන්ධකොට ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීමට යුක්‍රේනය කටයුතු කළේය.
එහිදී රුසියානු සෙබළුන් සඳහන් කළේ, "ගුවන් ප්‍රහාර නවත්වන්න. හමුදා යැවීම නවත්වන්න. සිවිල් වැසියන් ඝාතනය කිරීම නවත්වන්න. මේ අවස්ථාවේ අපි දරන්නේ ෆැසිස්ට්වාදී මතයක්." යනුවෙනි.
රුසියානු යුද සිරකරුවන් මෙලෙස මාධ්‍ය ඉදිරියට ගෙන යාම යුක්‍රේන බලධාරීන්ගේ උපායමාර්ගයක් බවට පත්වෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
මේ අතර යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා සහ රුසියන් විදේශ අමාත්‍ය සෙර්ගී ලැව්රොව් අතර හමුවක් තුර්කියේ ඇන්ටාලියාහි දී ඊයේ පැවැත්වුණි.
එහිදී ගැටුම් හමුවේ අසරණ වුණු යුක්‍රේන වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත්වීම සඳහා ඉඩ ලබාදීම වෙනුවෙන් සටන් විරාම ක්‍රියාත්මක කිරීමට රුසියානු විදේශ අමාත්‍යවරයා එකඟත්වය පළ කළත්, යුද ගැටුම් නැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවූ බව වාර්තා වෙයි.
පෙන්ටගනය ජෛව අවි නිර්මාණය කිරීමට යොදාගත හැකි රෝගකාරක නිපදවීම සඳහා යුක්‍රේන භූමිය භාවිත කරන බවට ලැව්රෝව් මෙහිදී චෝදනා කර තිබුණි.
ඇමරිකානුවන් එය "ඉතා රහසිගතව" සිදුකළ නිසා මේ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැතැයි යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ප්‍රකාශකර ඇති බවත් ලැව්රොව් පවසයි.
කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ජාතිය අමතමින් යුක්‍රේනයේ ජෛව අවි නිපදවන බවට රුසියාව සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.
ධවල මන්දිරය ඊයේ අනතුරු අඟවනු ලැබුවේ, බලාපොරොත්තු කඩවූ ස්වභාවයකට පත්වෙමින් සිටින රුසියාව ඉදිරියේදී යුක්රේන සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි ප්‍රහාර එල්ලකිරීමට යොමුවිය හැකි බවය.
මේ අතර යුක්‍රේනයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සාමාජිකයන් දෙදෙනෙකු පුපුරා නොගිය රුසියානු බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙතද විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් යොමු වී තිබුණි.
ආරක්ෂිත ආවරණයක් නොමැතිව සිය දෑත්වලින් ජල බෝතලයක් පමණක් අධාරයෙන් ඔවුන් එම කාර්යය සිදුකර තිබේ.
