
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවට අදාළව සාක්ෂි විමසීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මානව හිමිකම් අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය රජීව් විජේසිංහ,විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම යන මහත්වරුන්ට අද අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබේ.
විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් විසින් විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පුද්ගලික විදෙස් සංචාරයක නිරත වී ඇති බැවින් නඩුව කල්දමන ලෙසද ඉල්ලා තිබේ.
ඒ අනුව අදාළ නඩුව ලබන 12 වෙනි දින දක්වා කල් තබන බවත්,විත්තියේ සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට අවසර ඉල්ලු මහාචාර්ය රජීව් විජේසිංහ,විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක යන දෙදෙනාටද එදිනට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් මහාධිකරණය විසින් දැනුම් දෙන ලදී.
එසේම බෑන් කී මූන් කමිටුව විසින් නිකුත් කර ඇති වාර්තාව සාක්ෂිදීම සඳහා අධිකරණයට රැගෙන එන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක මහතාට නියෝග කර තිබේ. විත්තියේ නීතිඥයින් විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය කර ඇත.

















































