ඇමෙරිකාවේ නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට

ඇමෙරිකාවේ නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට

September 30, 2018   06:50 am

 

ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් Mr. Eric Hargen මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති සමුළුවක දී මෙම එකඟතාවය ලැබී තිබේ.

එක්සක් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වූනේ ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුවය.

මෙම සමුළුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය. 

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දර්ශක ඇමෙරිකානු සෞඛ්‍ය දර්ශක හා සමාන වෙනවා. ආර්ථීක ගැටළු ප්‍රශ්ණයක් නොවෙයි. තීන්දු අරගෙන ක්‍රියාත්මක කිරිම තමයි වැදගත්.” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

දකුණූ සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශක වලින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බව තමන්ට දැනගන්නට ලැබුනු බව ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

එම නිසා ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ලංකාවට ලබාදීමට සුදානම් බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇති අතර ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීම ඇමෙරිකාවේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා බාරගෙන ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක ආචාර්ය එස්. සුබසිංහ මයා, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මයා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය. එච්.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.