විස කිරි පැකට් චෝදනාවට මුජිබර්ගෙන් නඩු
September 8, 2018 07:59 pm
ඒකාබද්ධ විපක්ෂයේ "ජනබලය කොළඹට" විරෝධතාවට සහභාගි වූ පිරිස් අතර බෙදා හැර තිබූ විස සහිත කිරි පැකට් වලට සමාන තවත් කිරි පැකට් තොගයක් බත්තරමුල්ල, උඩුමුල්ල මාර්ගයේ අතුරු මාර්ගයක් අසළ දමාගොස් තිබී ඊයේ (07) රාත්‍රියේ සොයා ගෙන තිබේ.
මේ අතර එම කිරි පැකට් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාකරුවන්ට බෙදා හැරිය බවට තමන්ට චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉකුත් 05 වැනිදා පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතාවය අතරතුරදී කිසියම් පිරිසක් විසින් විරෝධතාකරුවන් වෙත මාළිගාවත්ත, යුනියන් පෙදෙස, ගංඟාරාමය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී කිරි පැකට් බෙදා දී තිබිණි.
වීරකැටිය බෝවල,ඇත්පිටිය, යහන්මුල්ල, වැලිඅමුණ, දෙහිඅත්තකණ්ඩිය ඇතුළු ප්‍රදේශ රැසකින් විරෝධතාවයට එක්ව සිටි පිරිසක් මෙම කිරි පානය කිරීම නිසා පුද්ගලයින් 38 දෙනෙකුට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය , එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට චෝදනා එල්ල කළේය.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මහතා සඳහන් කළේ විරුද්ධවාදීන් වුවද ඔවුන්ට විෂ ආහාර ලබාදීමේ කිසිඳු වුවමනාවක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නොමැති වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.