පාර්ලිමේන්තුවට අලුත් පුටු නෑ-වැසිකිළි අලුත් වෙයි

පාර්ලිමේන්තුවට අලුත් පුටු නෑ-වැසිකිළි අලුත් වෙයි

September 3, 2018   03:29 pm

පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුත් පුටු මිල දී ගැනිමේ කිසිදු සුදානමක් නොමැති බව කථානායක කාර්යාලය දැනුම් දෙයි.

පාර්ලිමේන්තුවට අළුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම, පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිලිද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුටත් දැක්වෙයි.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති  ආසන සහ අනෙකුත් සියලු උපකරණ කිසියම් ‍‍‍‍ඓතිහාසික වටිනාකමක් සහිත සංකේතයන් වන බැවින්, එම උපකරණයන්හි කිසියම් වෙනසක් සිදු කරන්නේ නම් එය ඉතා අරපරිස්මින් යුතුව සිදු කල යුතු කාර්යයක් බව කථානායකතුමාගේ අදහස වන බව ද එම නිවේදනයේ දැක්වෙයි.

එබැවින්, කෙතරම්  පැරණිවුවද  පාර්ලිමේන්තු  සභා ගර්භයේ අසුන්වල යම් අබලන් තත්ත්වයක් පවතී නම් අවම වියදමකින් අළුත්වැඩියා කිරීම මිස අළුතින් මිලදී  ගැනීම නොකල යුතු බවත්, පාර්ලිමේන්තුවේ පෞඪ ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට  ඉඩ නොදෙන බවත් කථානායකවරයා  විසින් දැඩිව අවධාරණය කර ඇත.

කෙසේ  වෙතත්, ලෝකයේ දසතින් වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම දිනපතා3500 ඉක්මවන පාසල් සිසුන් ඇතුළුව විශාල ජනතාවක් ද පැමිණෙන රටේ  පාලන මධ්‍යස්ථානය වන පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල කාලීනව පැන නගින අවශ්‍යතා මත
පිලිසකර කර අභිමානවත් ලෙස පවත්වාගෙන යාමේ වගකීම  බැහැරකල නොහැකි බව ද එම නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි.

නමුත්,  එම කටයුක්ත උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදුකරන බවට කථානායක වරයාගේ පූර්ණ අධීක්ෂණයට ලක්වෙන බවත් දැනට පාර්ලිමේන්තු වහලයේ සහ  මළ නාලිකා පද්ධතියේ ද වැසිකිලි පද්ධතියේ ද පිළිසකර කිරීමක් ගැන පමණක් අවධානය යොමුව ඇති බව ද කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

සැබෑ තත්ත්වය එසේ වන හෙයින්, පාර්මේන්තුවට අළුතින් පුටු මිලදී ගැනීමට සුදනම් වන බවට  පතුරවමින් පවතින පුවත  කිසියම් පාර්ශවයක් විසින් කරුණු විකෘති කර නිර්මාණය කරන ලද පුවතක් බවත්, මෙය පාර්ලිමේන්තු වත් එහි නියෝජිතයනුත් අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ද්වේශ සහගත ලෙස මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුකල පහත් ක්‍රියාවක් බවත් නිවේදනයෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.