2018 දළදා පෙරහැර සාර්ථකව අවසන් වෙයි

2018 දළදා පෙරහැර සාර්ථකව අවසන් වෙයි

August 26, 2018   09:23 am

2018 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් අවසන් විය.

ඒ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් වූ බවට සැලකෙරෙන සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුවයි.

ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර විථි සංචාරය ආරම්භ කෙරුණේ ඊයේ රාත්‍රි 7.58 ට යෙදුන සුබ මොහොතිනි.

ඇසළ පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඬුව , නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් වැඩම කරවූ අතර දෑල ඇතුන් ලෙස ගමන් කළේ වාසනා සහ ඉන්දිරාජා හස්ථියායි.

ආසියාවේ උසම දළ ඇතා ලෙස ද විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර දළදා කරඬුව වඩමවනු ලැබුවේ 12 වන වරටයි.

පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එක්ව සිටියේය.

පෙරහැරේ නිලමේවරයා ලෙස ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගමන් කළේය.

පෙරහැර ,  දළදා වීදීය,යටිනුවර වීදීය , කන්දෙ වීදීය ඔස්සේ ගමන් කර ඩී එස් සේනානායක වීදීයට පැමිණ රජවීදීයට හැරී ඉහළට විත් ගෙවදීම සිදුවිය.

අනතුරුව මධ්‍යම රාත්‍රීයේදී ශ්‍රී දළදා මාලිගාවේ සිට අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානය වෙත පෙරහැරක් ගමන් ගැනීමෙන් පසු කරඬුව එම විහාරයේ තැන්පත් කෙරිණි.

සතර මහා දේවාලවල දියකැපීමේ චාරිත්‍රය ඉටුකෙරුණේ අද අලුයම් කාලයේදි මහවැලි ගඟේ ගැටඹේ තොටේදීයී.

පසුගිය 12වනදා පෙරහැර වෙනුවෙන් සිටුවන ලද කප දියකැපීමේ ස්ථානයට ගෙනවිත් මහවැලි ග‍ඟේ පා කර හැරීම මෙහිදී සිදුකෙරිණි.

එමෙන්ම පෙරහැරේ ගමන් ගත් අලි ඇතුන්ට පළතුරු ලබාදීම ද මෙහිදී සිදුකෙරිණි.

මේ අතර අද දහවල් 2.12 ට යෙදුන සුබ මොහොතින් කරඬුව රැගත් දළදා පෙරහැර ගෙඩිගේ විහාරයෙන් දළදා මාලිගාව බලා ගමන් ආරම්භ කළේය.

අනතුරුව පෙරහැර සිව් මහා දේවාලයන්හි පෙරහැර ද සමග දළදා මාලිගා චතුරස්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට ගෙවැදීම සිදුවිය.

ඉන් පසුව බස්නායක නිලමේවරුන් සමග පෙරහැරින් මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා 2018 ඇසළ පෙරහැර නිසි පරිදි සිදුකළ බවට වූ සංදේශය ජනාධිපතිවරයාට භාරදුන්නේය.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුසලතා දැක්වූ කලාකරුවන්ට ජනාධිපතිවරයා විසින් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමුණේ ඉන් අනතුරුවයි.

මහනුවර 2018 ඇසළ පෙරහැර මංගල්‍යය එයින් පසු නිල වශයෙන් නිමා විය.