හලාවත ප්‍රාදේශීය සභාව තුළ සේවකයෙකු ගෙළ වැළලා ගනියි

හලාවත ප්‍රාදේශීය සභාව තුළ සේවකයෙකු ගෙළ වැළලා ගනියි

August 8, 2018   07:46 am

හලාවත ප්‍රාදේශීය සභාවේ මාදම්පේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි නිලධාරියෙකු එම කාර්යාල භූමියේ ගබඩා කාමරයක ගෙළ වැළලා ගෙන මිය ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ(07) සවස කාර්යාලයේ සේවකයින් විසින් මිය ගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රාදේශීය සභාවේ ගබඩා බාරකරු ලෙස සේවය කරමින් සිටි මුණසිංහ මුදියන්සේලාගේ සංජය නාලක මුණසිංහ නැමති 37 හැවිරිදි පුද්ගලයෙකි.

වෙන්නප්පුව - බෝතලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු එක් දරු පියෙකි.

ඊයේ දහවල් දිවා ආහාරයෙන් පසුව මියගොස් ඇති අය දකින්නට නොසිටීම නිසා සෙසු නිලධාරීන් ඔහු සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයටද ඇමතුම් ලබා දුන්නත් ගබඩා කාමරය තුළ එය නාද වෙන නමුත් පිළිතුරක් ලැබී නැත.

පසුව ප්‍රදේශීය සභා සේවකයින් විසින් ගබඩා කාමරයේ දොර කඩා පරීක්ෂා කර ඇති අතර නමුත් ඔහු එහි සිට බව නිලධාරීන් සඳහන් කළේය.

පසුව සේවකයින් විසින් තව දුරටත් සොයා බලන විට අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති කාමරයේ මෙම පුද්ගලයා ගෙළ වැළලාගෙන සිටිනවා අදාළ නිලධාරීන් විසින් දැක ඇති බව වාර්තා වෙයි

පසුව මාදම්පේ පොලීසියට මේ බව දැන්වීමෙන් පසුව මාදම්පේ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්.ටී.අබේකෝන් මහතා එම ස්ථානයට පැමිණ මූලික විමර්ශණය සිදු කරන ලදි.

මිය ගොස් ඇති අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හලාවත මහා රෝහල වෙත රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මාදම්පේ පොලීසියට නියම කරන ලදි.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.