රෝහිතට එරෙහි නඩුව විභාග කිරීම කල් යයි

රෝහිතට එරෙහි නඩුව විභාග කිරීම කල් යයි

May 28, 2018   10:38 am

රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ දේපළ නීති විරෝධී ආකාරයට අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම ජුලි මස 6 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(28) නියෝග කළේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම නඩුව දෛනිකව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්  නඩු විභාගය ජුලි මස 06 වනදා දක්වා කල් තබන බව විනිසුරු හෙයියන්තුඩුව මහතා නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා අසනීපයෙන් පසුවන බවයි.

ඒ අනුව විත්තිකරුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට ද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

2004 වසර සහ  2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා නීති විරෝධී ආකාරයට රුපියල් මිලියන 40.1 ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.