නාවලපිටිය නිවාස පෙළක ගින්නක් - නිවාස 2කට හානි (ඡායාරූප සහිතයි)

නාවලපිටිය නිවාස පෙළක ගින්නක් - නිවාස 2කට හානි (ඡායාරූප සහිතයි)

April 2, 2018   11:58 am



නාවලපිටිය නගර සභාවට අයත් කම්කරු නිවාස පෙළක් අද(02) උදෑසන හටගත් ගින්නකින් එම නිවාස පේළීයේ තිබු නිවාස දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි. 

නාවලපිටිය බටහිර වසමේ සොයිසාකැලේ ප‍්‍රදේශයේ පිහිටි මෙම කම්කරු නිවාස පේළීයේ අද උදෑසන 5.30 ට පමණ ගිනක් හටගෙන තිබේ. 

ගින්නෙන් එක් කම්කරු නිවාසයක් සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වී ඇති අතර තවත් නිවසකට අර්ධ වශයෙන් අලාභ හානි සිදුවී ඇත. 

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නොමැති අතර ගින්නෙන් එක් නිවසක තිබු පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ. 

පැතිර යමින් තිබු ගින්න එම නිවාස පේළියේ පදිංචි කම්කරුවන් හා ප‍්‍රදේශවාසින් පාලනය කර ඇත. 

නගර සභාව මඟින් එම නිවාස නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා නිවස තුළ ඇති විදුලි රැහැන් වසර ගණනාවක් නඩත්තු නොකිරීම නිසා විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගන්නට ඇති බව එම නිවාසවල පදිංචිකරුවන් පැවසීය. 

නිවසේ පදිංචිකරුවන් නිවසෙන් බැහැරව සිටි අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බව ගින්න පිළිබඳ පරික්‍ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. 

ගින්න පිළිබඳ නාවලපිටිය පොලිසිය පරික්‍ෂණ ආරමිභ කර ඇත.