ඉදිරි සංවර්ධන යුගයේ සැලැස්ම සඳුදා ජනපති කියයි

ඉදිරි සංවර්ධන යුගයේ සැලැස්ම සඳුදා ජනපති කියයි

September 1, 2017   07:26 pm

රජයේ ඉදිරි වසර 3 සංවර්ධනය යුගයක් වන බවත් ඒ සඳහා වු සැලැස්ම ලබන සඳුදා දින ජනපති ප‍්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මාලඹේ, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුජීව සේනසිංහ කාන්තා පදනම මගින් සංවිධානය කරනු ලැබූ "දිරිය කතුන්" වැඩසටහනට එක් වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් කළ කළේය.

කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය වැඩි කළ යුතු බවත් ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජනය සියයට 25 දක්වා වැඩි කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

කෙසේ හෝ ඉදිරි වසර 3 සංවර්ධනයේ යුගයක් වන බවත් ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තුව බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා, ලබන සඳුදා දින ජනාධිපතිවරයා විසින් ඉදිරි වැඩිපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත්  කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වු අගමැතිවරයා මෙසේ පැවසීය.

"ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා. මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වසරකට ලක්‍ෂ 20 ක් පමණ වනවා.

අපේ අරමුණ එය ලක්‍ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා අප බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. මේ සියල්ල තුළින් අප උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.

මහා සංඝ රත්නය මෙහිදී ප්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා.මේ ණය ප්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. නමුත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි.

මේ වන විට අපි ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා. 2015-2016 කාලවල දී ජනතාවට ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වන විට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් අරන්. එළැඹෙන සිංහල අලූත් අවුරුද්ද වන විට මේ තත්ත්වය තවත් වර්ධනය කර ගත යුතුයි.