අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රකාශයක්
June 14, 2017 04:29 pm
ප්‍රචණ්ඩත්වය වැපිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරන වෛරීය ප්‍රකාශ ඇතුළු හිංසාකාරී ක්‍රියා තරයේ හෙළා දකින බව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අද(14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.
එසේම සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කරන මෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහ නීතිපතිවරයාට උපදෙස් දී ඇති බවත් වැරදි ක්‍රියාවන්ට දඬුවම් නොදී සිටීම තුළින් රට නැවත යුද්ධයක් වෙත තල්ලුවීමේ භයානක අවධානමට මුහුණ දීමේ අනතුරක් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ ය.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“අප රටේ අතලොස්සක් වූ පිරිසකගේ වෛරය පැතිරවීමේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට පෙරට පැමිණි හා මේ මොහොතේ සන්සුන්ව සිටීමේ හා සාමකාමී සහජීවනයේ වැදගත්කම පෙන්වා දී ඇති සිවිල් සංවිධාන හා ආගමික නායකයන්ට අපි අපගේ කෘතවේදීත්වය පළ කරමු.
ගෞතම බුදුන්ගේ ඉගැන්වීම්වලින් අවධාරණය කෙරෙන්නේ සහජීවනය, සහනශීලිත්වය, ගෞරවය හා කරුණාවයි. “වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ” යන ගෞතම බුදුන්ගේ උතුම් හා නැණවත් වදන් අපට මග පෙන්වන සදාතනික නීතියකි.
මේ දේශය, සාමකාමී සහජීවනය, මානව වටිනාකම් ආරක්ෂා කිරීම සහ කලාපයේ වඩාත්ම ප්‍රගතිශීලී ජාතීන්ගෙන් එකක් ලෙස නැවත ගොඩනැගීම සඳහා අවංක හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවෙන් අවශ්‍ය වන මගපෙන්වීම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, සහ ඉස්ලාම් යන ලොව ශ්‍රේෂ්ටම ආගමික සම්ප්‍රදායන් සතරක ඉගැන්වීම්වලින් ආශීර්වාදය ලබා ඇත.
දේශප්‍රේමී පුරවැසියන් ලෙස, ස්ථාවර, සාමකාමී හා ප්‍රගතිශීලී ජාතියක්ද, සියලු පුද්ගලයන්ගේ අභිමානය රැකෙන, විවිධත්වය ගරුකෙරෙන, සියළු පුද්ගලයන්ට සමාන පුරවැසියන්ට හිමි අයිතීන් වන නිදහස භුක්ති විඳින්නට හැකි සමාජයක්ද, ගොඩනැගීමට ඔබට හැකි උපරිම ආකාරයෙන් ඔබගේ රටට දායකත්වය සපයන මෙන් අප රටේ බාල, මහළු සියලු පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
මෙම අනතුරුදායක එකිනෙකා කෙරෙහි වූ වෛරය තුරන් කිරීම සඳහාත්, අප සියලු දෙනා වර්තමානයේ දී හෝ අනාගතයේ දී නැවත වරක් අතීතයේදී මෙන් ගැටුම්කාරී වාතාවරණයකට රැගෙන යාමට ඉඩ නොදෙන බවට අධිෂ්ටාන කරනු පිණිසත් අප සියලු දෙන එක්සත්ව නැගී සිටිය යුතුය."