ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතයට සැලසුම්

ගිනිසීරියා ඉන්ධනයක් ලෙස භාවිතයට සැලසුම්

February 13, 2017   10:08 am


ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 50ක් සැපයිය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ගිනිසීරියා, ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඒ අනුව ස්වයං රැකියාවක් ලෙස ගිනිසීරියා ශාකය ගෙවතු වගාවට හඳුන්වාදීමටද නියමිතය.

එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී මෙම ගිනිසීරියා වගා ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

එහි මූලික පියවර වශයෙන් හෙක්ටයාර 2000ක වපසරියක් තුළ ගිනිසීරියා ශාකය වගා කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ගල් අගුරු සහ ඉන්ධන සඳහා අප රටේ විශාල මුදලක් පිට රටට ඇදී යනවා. එය අපේ ආනයන වියදමෙන් 40%ක්. ඒ නිසා අපි වෙනත් විකල්ප බලශක්තීන් සඳහා යොමු විය යුතුයි. අපි අද ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය තුළින් ගිනිසීරියා පැළ හෙක්ටයාර් 2000ක වගාකර මූලික පියවර ආරම්භ කරනවා. අනතුරුව මෙම දර ප්‍රමිතියට අනුව එකලස් කරන මධ්‍යස්ථාන රටපුරා ඇති කිරීමට කටයුතු කරනවා.මෙය අපේ ජනතාවට අනාගතයේදී ස්වයං රැකියාවක් ලෙස ව්‍යාප්ත කළ හැකියි. තම ගෙවත්තේ වගාකරන ගිනිසීරියා පැළයේ බද කොටසට ගම් මිරිස් වැළක් යවලා කොළ ටික පොහොර වශයෙන් ගෙන අතු ටික එකලස් කිරීමේ මධ්‍යස්ථානයට දී තවත් අමතර ආදායමක් ලබා ගැනීමේ ජාතික වැඩපිළිවෙළයි අපි මේ ආරම්භ කළේ. අතිගරු ජනාධිපතිතුමා මේ ජාතික වැඩ පිළිවෙළට පරිසරයට ආදරය කරන නායකයෙක් ලෙස අපට නායකත්වය ලබා දෙනවා.මේ නිසා ජනතාව පුළුල් අවබෝධයෙන් යුතුව මේ වැඩසටහන පිළිබදව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා."