ජේ.ආර් යුගයේ උතුර  මුදා නොගත්තේ ඉන්දීය බලපෑම නිසයි

ජේ.ආර් යුගයේ උතුර මුදා නොගත්තේ ඉන්දීය බලපෑම නිසයි

February 5, 2017   05:00 pm


ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවති කාල වකවානුවේ දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කළ ප‍්‍රකාශයක් ‘‘ ද හින්දු’’ පුවත්පත අද (05) වාර්තා කර තිබේ.

ඔවුන් එම ප‍්‍රකාශය උපුටා ගෙන තිබෙන්නේ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ පීටර් ගල්බ්‍රේන් විසින් නිකුත් කරන ලද ලියවිල්ලක් පාදක කර ගනිමිනි.

උතුරු පළාත එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නා ලෙස හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා එවක යුද හමුදාවට නියෝග කර තිබේ.

එහෙත් සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි බව පවසමින් ඉන්දියාව විසින් කරන ලද බලපෑම මත යුද හමුදාව අවස්ථා දෙකකදීම එම නියෝගය අතහැර ඇති බව පීටර් ගල්බ්‍රේන් සිය ලියවිල්ලෙන් පෙන්වා දී ඇත.

පිටර් ගල්බ්‍රේන් එම ලියවිල්ල සකස් කර ඇත්තේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහුට කළ ප‍්‍රකාශයක් පාදක කර ගනිමින් වන අතර එවකට රටේ පැවති තත්වය සම්බන්ධයෙන් ජයවර්ධන මහතා ඉන්දියාවට දැනුම් දී තිබේ.

ඒ අනුව ඉන්දීය රජය ශ‍්‍රී ලංකාවට සාම සාධක හමුදාව එවූ බව පීටර් ගල්බ්‍රේන් සිය ලියවිල්ලේ දක්වා ඇත.

සාම සාධක හමුදාව ශ‍්‍රී ලංකාවට එවීමට නම් දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන භාෂාවක් කළ යුතු බවට ද ඉන්දියාව දැනුම් දුන් බව ජේ. ආර්. ජයවර්ධන මහතා තමන්ට ප‍්‍රකාශ කළේ යැයි පීටර් ගල්බ්‍රේන් සිය ලියවිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබේ.