රාජිත කරල තියෙන්නෙ බරපතළ ප්‍රකාශයක්
February 5, 2017 03:04 pm
පාතාල කල්ලි මුදල් ගෙවා ඝාතන සිදු කරන ආකාරයට අද ජනතා විමුක්ති පෙරමුණ ද විවිධ පාර්ශ්ව වෙතින් මුදල් රැගෙන රටම වනසා දමන බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
අද(5)පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය,
‘‘සයිටම් ආයතනයට එරෙහිව පැවැති විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධයට සහභාගී වූ පිරිස අතුරෙන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. එම පිරිස පෙබ.15 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව පොලීසිය ඉල්ලා සිටියත් අතිරේක මහේස්ත‍්‍රාත්තුමන් විසින් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් මත ඔවුන් නිදහස් කිරීමට කටයුතු කළා.
ප‍්‍රශ්නය ඔවුන් නිදහස් කර ගැනීම නොවෙයි. ප‍්‍රශ්නය තමයි , ‘ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කළා. අපිත් කථා කළා’ යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ප‍්‍රකාශය. රාජිත සේනාරත්න ඇමතිවරයා මේ ප‍්‍රසිද්ධියේ කියන්නේ එම සිසු පිරිස නිදහස් කර ගන්න තමන් අධිකරණයට කතා කළ බවද? ඒක සැබැවින්ම බරපතළ ප‍්‍රකාශයක්. විත්තියේ නීතිඥවරුන් ඉතා දක්‍ෂ ලෙස ඉදිරිපත් කර කරුණු අනුව තමයි සැබැවින්ම මේ සිසුන් නිදහස් කර ගැනීමට හැකියාව තිබෙන්නේ. මේ අනුව එක්කෝ රාජිත සේනාරත්න මහතා කියන්නේ බොරු. එහෙම නැතිනම් ඔහු අධිකරණයට ඇත්තෙන්ම කතාකර තිබෙනවා. නමුත් ඔය කොයි දේ වුණත් ඔහු රට ඉදිරියේ ප‍්‍රසිද්ධියේ පිළිගන්නවා ‘අපි මේ ආණ්ඩුවේ ප‍්‍රබලයන් විදියට අධිකරණයට බලපෑම් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්’ කියලා.
යහපාලනයා, තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන ලොකු කතා කියමින් බලයට ආපු ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශක අද ප‍්‍රසිද්ධියේ කියනවා ‘අපි දැන් අධිකරණයට කතා කරනවා. විනිසුරුවරුන්ට බලපෑම් කරලා අපට ඕනේ තීන්දු ලබා ගන්නවා’ කියලා.
පොඩ්ඩක් හිතලා බලන්න. මේ වගේ පොඩි දෙයකට මේ ආණ්ඩුවේ ප‍්‍රබලයන් මෙවැනි බලපෑම් කරනවා නම් දේශපාලන කාරණාවලදී අධිකරණයට මොන විදියේ බලපෑම් කරනවා ඇත්ද? මේ ආණ්ඩුවේ ප‍්‍රබලයන් අද මේ සිදු කරන්නේ ‘නීතියේ කන්‍යාවිය මහ දවල් බලහාත්කාරයෙන් දූෂණය කිරීමක් නොවෙයිද?’මෙහෙම ගියොත් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මහජන දිනවලදී ‘පොලීසියේ ඕ.අයි.සී මහත්තයට පොඩිඩක් කතා කරන්න සර්’ කියලා කියන්න එන හිතවතුන් ඇවිත් කියාවි ‘සර් හෙට මගේ නඩුව. සර්ට පොඞ්ඩක් කතා කරන්න’ කියලා. රාජිත සේනාරත්න මහත්තයාගේ ක‍්‍රියා කලාපය දැඩි සේ හෙළා දකින අතර අපි කියනවා ‘කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන ගෞරවනීය විනිසුරුවරුනි ඔබලා මේ තත්ත්වයට යට නොවී මේ රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය පසිදාලන්න’ කියලා.
රන්ජන් යොදාගෙන ජනතා අවධානය වෙනතකට හැරවීමේ පිළිකුල් ක‍්‍රියාව දැනවත් නතර කරන්න
‘‘අපි මේ මොහොතේ අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ ‘වන්ෂොට්’ හෙවත් රන්ජන් රාමනායක අපොන්සුගේ කුණු ගද ගහන රංගනය. පසුගියදා එයා රඟ දැක්වූවා ‘හෙන අතින් අරගෙන, ප‍්‍රාදේශීය ලේකම්වරියකගේ හොම්බට අනින්නෙ කොහොමද?’ කියලා. දැන් එතැනින් නතර නොවී තවත් ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ඉහළම බුද්ධිමය ස්තරයක් වන වෛද්‍යවරුන්ට එරෙහි රංගනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මේවා හුදකලා සිදුවීම් කියලා. මේවා සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ අනුදැනුම උපදෙස් අනුව විය යුතුයි. එහෙම නොවේ නම් මේ වාගේ ගොං පාට් රංගන මේ රටේ ජනතාවට අවුරුදු 02ක් තිස්සේ දකින්න වෙන්නේ නැහැනේ.
සමාජය තුළ බරපතළ අවධානය යොමුවිය යුතු කරුණු යට ගහලා මේ වගේ ගොංපාට්වලට ජනතා අවදානය යොමු කරවා ගැනීමේ කොන්ත‍්‍රාත්තුව තමයි අද මේ රජන්ජ් රාමනායක ආපොන්සු නළුවාට රනිල් වික‍්‍රමසිංහ මහතා භාරදී ඇත්තේ දැන් මෙයා කියනවා ඒ කියන්නේ ‘මුන්ගෙන් බෙහෙත් බිව්වොත් සුන්’ කියන එකලූ. අට පාස් මේ නළුවා කාටද මේ අපහාස කරන්නේ? උසස් පෙළ ඉහළම ප‍්‍රතිඵල අරගෙන අවුරුදු 05ක් දුෂ්කරතා මැද්දේ ඉගෙනගෙන ලෝකයේ ඉහළම ප‍්‍රමිතියේ වෛද්‍ය උපාධියක් ලබා ගත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ට. මෙයා හිතන්නේ අට වසර මොලයකින්නේ. එයාට වැටහෙන්නේ එයා වගේ කෙනෙක්ගෙන් බෙහෙත් බිව්වොත් සුන් කියලයි. එයා හිතන්නේ වෛද්‍යවරුනුත් එයා වගේ කියලයි.
මේ හදන්නේ මේ රටේ හෙට දවස වෙනුවෙන්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් එට්කා ගිවිසුම පැරදවීම වෙනුවෙන් ඉදිරියට එන මේ රටේ වෛද්‍ය වෘත්තිකයෝ හෑල්ලූවට ලක් කරන්නයි. මේ ජෝකර් යොදාගෙන කරන මේ අමන වැඩේ දැන්වත් නතර කරන්න කියා අපි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.
එහිදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් මොහොමඞ් මුසම්මිල් මහතා
ප‍්‍රශ්නය: - ජවිපෙ නායක අනුර දිසානායකට අයර්ලන්තයේ නිවසක් තිබෙන බවට පළවන වාර්තා, ඔබත් සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී එහි දේශපාලන මණ්ඩල සභික, බිමල් රත්නායක දැඩිව ප‍්‍රතික්ෂේප කළා. ඔබ එය පිළිගන්නවාද?
‘එතැනදී සිදු වූයේ බිමල් රත්නායක මහතා අනුර දිසානායකගේ නඩුව අහලා තීන්දුව ලබා දීමයි. අනුර දිසානායක මහතාට අයර්ලන්තයේ මාලිගාවක් තිබෙන බවට ප‍්‍රවෘත්ති පළ වුණාම ජවිපෙ මොකද කළේ? පක්‍ෂ නායකයාට එරෙහි චෝදනාව විමර්ශනයට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් යවලා විමර්ශනයක් කරලා බිමල්ට ගෙනල්ලා දෙනවා. බිමල් ඒ වාර්තාව ඒ වැඩසටහනට ගෙනවිත් අනුර දිසානායක නිදොස් කොට නිදහස් කරනවා. බාප්පාගේ විශ‍්‍රාම වැටුපෙන් ජීවත් වන අනුර දිසානායක මහතා අයර්ලන්තය වැනි රටක අධික හෝටල් බිල් ගෙවා ගෙන මාසයක් රැදී සිටීම ගැටළුකාරී නැද්ද?
ජවිපෙට එල්ල වන බරපතළ චෝදනාව එය නොවෙයි. අද ‘දේශය පුවත්පතේ චතුර සේනාරත්න මහතා ජවිපෙට ප‍්‍රබල අභියෝගයක් එල්ලකර තිබෙනවා. ඔහුගේ දේශපාලනය අපි අනුමත නොකළත් ඔහු පවසන කරුණු ජනතාවගේ අවධානයට යොමු විය යුතුයි. චතුර සේනාරත්න මහතා කියා තිබෙනවා ‘අපි ජනතා විමුකිති පෙරමුණට මිලියන ගණන් මුදල් දුන්නා’ කියා ජවිපෙට ඔහු කරන අභියෝගය තමයි ‘පසුගිය ජනාධිපතිවරණය සමයේදී මිලියන ගණනක මුදලක් අපෙන් ගත්තේ නැහැ කියා හැකිනම් කියන්න’ කියන එක. ‘අයර්ලන්තයේ ගෙයක් නැහැ කියන්න මේ තරම් හදිසි වුණු ජවිපෙට අපි කියනවා. ‘මේ අභියෝගයට කඩිනමින් පිළිතුරු දෙන්න’ කියලා.
මේ පුවත්පත් සාකච්ඡාව සිදු කළ මාධ්‍යවේදියා අහනවා ‘මේ මිලියන ගණනක මුදල් ජවිපෙ ලබා ගත්තේ කාගෙන්ද කියලා. ‘පොදු අපෙක්ෂකයාගේ කඳවුරෙන්’ කියලයි ඔහු පිළිතුරු දෙන්නේ. තමන්ගේ අතින් සහ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ අතින් මේ මුදල් ලබාගත් බව චතුර සේනාරත්න එහිදී කියනවා. එවිට මාධ්‍යවේදියා අහනවා ‘ඔබ මේ මුදල් ගනුදෙනු සිදු කළේ කා සමඟද?’ කියලා. ‘අනුර දිසානායක, විජිත හේරත් ඇතුළු පිරිසක් සමඟ කියලයි ඔහු පිළිතුරු දෙන්නේ.
මේක අපි කියන දෙයක් නොවෙයිනේ. විජේදාස රාජපක්‍ෂ මහත්තයා කීවා, මම ජවිපෙට ලක්‍ෂ 25ක් දුන්නා’ කියලා. දැන් චතුර සේනාරත්න මහත්තයා කියනවා ‘අපි ජවිපෙට මිලියන ගණනක් දුන්නා’ කියලා. මීට පෙර කතාවක් තිබුණා ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් විශාල මුදලක් දුන්නා කියලා. අද ජවිපෙට සිදු වෙලා තිබෙන්නේ කුමක්ද? බලන්න, පතාලය සල්ලි අරන් මිනී මරනවා. ජවිපෙ සල්ලි අරන් රට වනසනවා. අද ජවිපෙ මේ රටේ දේශපාලන පාතලය බවට පත්ව තිබෙනවා. සුරංගනා කතා කියලා මේ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. විමල් වීරවංශට මඩ ගහන්න බී වාර්තා අරන් එන ජවිපෙ තමන්ට චතුර සේනාරත්නලා, විජයදාස රාජපක්‍ෂලා එල්ල කරන චෝදනාවලට පිළිතුරු නොදෙන්නේ ඇයි? කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව වටහාගත යුතුයි.
අනෙක් අතට මඩ ගහලා තමන්ගේ ඇගේ තිබෙන කුණු, දූවිලි, අසූචි වහ ගන්නයි අද ජවිපෙ හදන්නේ’’