සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා ලබාදීම රජයේ අරමුණයි

සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා ලබාදීම රජයේ අරමුණයි

February 1, 2017   09:32 am




නිදහස් අධ්‍යාපනයේ කඩයිමක රට පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ රටේ සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා ලබාදීම රජයේ අරමුණ බවයි.

කොළඹ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
 
අද ජාතික අධ්‍යාපන ආයතනය උපාධි සහ පශ්චාත් උපාධි 1223 ක් ප්‍රදානය කරනවා. එම පිරිස ලංකාවේ සහ මාලදිවයිනේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට නියමිතයි. හොඳ අධ්‍යාපන ක්‍රමයක් රදා පවතිනුයේ හොඳ ගුරුභවතුන් සිටියහොත් පමණයි. හොඳ අධ්‍යාපනවේදීන් සිටියහොත් පමණයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරු, විදුහල්පතිවරු සහ නිලධාරීන් අධ්‍යාපනයට නිසි අවධානය යොමු නොකර ගොඩනැගිලි පමණක් හදා අධ්‍යාපනය හොඳ මඟට ගැනීමට හැකියාවක් නැහැ.

පළමුවෙන්ම මා උපාධි සහ පශ්චාත් උපාධි ලබා ගත් සැමට සුභ ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ලංකාවේ සහ මාලදිවයිනේ අධ්‍යාපන ක්‍රමය තවත් ශක්තිමත් කිරීමට ඔබේ සේවය ලබා දෙන්නැයි අප ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාව අද සිටිනුයේ නිදහස් අධ්‍යාපන විප්ලවයේ වැදගත්ම අවස්ථාවකයි. අප මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කොට ජාතික ආණ්ඩුවක් ඇති කළේ මෙරට අධ්‍යාපන විප්ලවය ඉතා ඉහළ තැනකට ගෙනයාමටයි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ අධ්‍යාපන යෝජනා සහ ඒ සමග සම්මත වූ අධ්‍යාපන ආඥා පනත අප නිදහස් අධ්‍යාපනයේ ආරම්භය ලෙස සලකනවා. එහි දෙවන වැදගත් පියවර ඇති වූයේ 1977 වසරේදීයි. එකළ ලංකාවේ සිසු සිසුවියන්ගෙන් 50% කට වඩා වැඩි පිරිසකට කිසිම පොතක් පතක් නොතිබූ බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අපට ප්‍රකාශ කළා. ඔවුන් පාසලට පැමිණියේ පොත්පත් නැතිවයි. එම නිසා අප එකළ නොමිලයේ පොත් පත් ලබාදීමට ක්‍රියා කළා. එයින් විශාල සමාජ වෙනසක් ඇති වුණා.

මෙරට මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි කිරීමට අප ක්‍රියා කළා. ගුරුවරුන්ගේ පුහුණුවට වෙනම ක්‍රමයක් ඇති කළා. ඒ කාලයේදී විශ්ව විද්‍යාලයට ඇතුළුවීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදුන්නා. ඒ වනතුරු මොණරාගලින් කිසිදු වෛද්‍ය ඉංජිනේරු විද්‍යා උපාධි ධාරියෙකු බිහිවී සිටියේ නැහැ. අද හැම දිස්ත්‍රික්කයකින්ම මෙම උපාධිධාරීන් බිහිවී සිටිනවා. අප ඒ සඳහා යාපනය වෙනම දිස්ත්‍රික්කයක් කළා. මුලතිව්, කිලිනොච්චි, වව්නියා, මන්නාරම ප්‍රදේශ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් දියුණුවට පත් කළා.

දැන් ජාතික රජය යටතේ අප අධ්‍යාපන ක්ෂේත්‍රය ඊටත් වඩා විශාල පිම්මක් ඉදිරියට යාමට සූදානමින් සිටිනවා. නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කළේ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාදීමටයි. මෙරට සියලූම දරුවන් වර්තමානයේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වනවා. වසර 13 ක් එම අධ්‍යාපන ක්‍රමය තිබුණත් 50% ක් පමණ දෙනා වසර 13 ක අධ්‍යාපනය ලබන්නේ නැහැ. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීමේ නීතිය අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ගෙන එන්නේ සැමට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අපේක්‍ෂාවෙනුයි. එසේ නම් අප වසර 13 ක් සැමට අධ්‍යාපනය ලබාදෙන ඉදිරි පිම්ම අප විසින් ගනු ලබනවා. අප ඉදිරියට යන්නේ ඒ ආකාරයටයි.

බොහෝ සිසු සිසුවියන් 11 වසරේදී අධ්‍යාපනයෙන් ඉවත් වන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමට නොහැකියාව නිසයි. ඇතැම්විට ඔවුන් ගණිතය අසමත් වනවා. මෙලෙස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන සිසු සිසුවියන්ට වැඩිදුර අධ්‍යාපනයක් ලබාදීම අපගේ අරමුණයි. සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් අසමත්වීමේ විභාගයක් නොවෙයි.

එහෙත් හැමදෙනාටම විශ්ව විද්‍යාලයට යෑමට අවශ්‍යතාවයක් මෙන්ම දක්‍ෂතාවයකුත් නැහැ. ඒ අයට වෙනත් හැකියාවන් තිබෙනවා. එම නිසා ඔවුන් සඳහා උසස් පෙළ විෂයන් මෙන්ම ද්විතීය, වෘත්තීය පාඨමාලා පාසල් තුළ ඇති කරනවා. අපේ ප්‍රධානතම ඉලක්කය එයයි. එසේ කිරීමට නම් අපගේ ගුරු ඇබෑර්තු පිරවිය යුතුයි. එමෙන්ම හොඳ ගුරු පුහුණුවක් ලබාදිය යුතුයි. සේවයේ සිටින අයට උපාධිය ලබාගැනීමටත් අප අවස්ථාව ලබා දෙනවා.

ගුරු සේවය සඳහා දැනට බඳවා ගන්නේ ජාතික මට්ටමින් හෝ පළාත් මට්ටමිනුයි. අනාගතයේදී ගුරු සේවයට බඳවා ගන්නේ පාසල් මට්ටමින් බවට අප තීරණය කර තිබෙනවා. මේ සියලූම තීරණ නීති ගත කරනවා. ඉතා දුෂ්කර පාසලක ඇබෑර්තු තිබේ නම් රැකියාවක් ඕනෑ අයෙකුට එම පාසලට ගොස් ඇබෑර්තුව පිරවීමට තම ඉල්ලූම් පත්‍රය යොමු කළ හැකියි.

ලංකාවේ පැරණිම අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය හෙවත් ක්‍රිස්තියානි පාසල යොදා ගෙන අප අත්හදා බැලීමක් කර තිබෙනවා. එම විදුහල පළමුවෙන්ම ආරම්භ කළේ 1820 වසරේදියි. එම විදුහලේ පළමු ස්මාර්ට් පන්ති කාමරය ආරම්භ කිරීමට අප කටයුතු කළා. එම අත්හදාබැලීම තවත් පාසල් ගණනාවක සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඊළඟ වසර දෙක ඇතුළත 12, 13 වසරවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට නොමිලයේ ටැබ්ලට් පරිගණක ලබාදීමට ක්‍රියා කරනවා.

අධ්‍යාපන විප්ලවය යනු එයයි. අප ඉදිරියට ගෙන යන්නේ එම ක්‍රමයයි. නවීන ආර්ථිකයක්, නවීන රටක් අපට අවශ්‍යයි. 21 වැනි සත වර්ෂයේ මැද භාගයට ජීවත්වීමට සුදුසු අධ්‍යාපනයක් අපේ තරුණ පරම්පරාවට ලබාදෙනවා. අප ක්‍රියාත්මක වන්නේ ඒ සඳහායි. අප පක්‍ෂ දෙකකින් ජාතික ආණ්ඩුවක් හැඳුවා නම් එහි වගකීම ඉටු කළ යුතුයි.
හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ජනාධිපතිතුමා විශේෂයෙන්ම කැපවී සිටිනවා. එතුමා තෙක් දුරක් පැමිණියේ දුෂ්කර දිස්ත්‍රික්කයකින් අධ්‍යාපනය ලැබීමෙනුයි. නිදහස් අධ්‍යාපනයේ ඇති වටිනාකම ජනාධිපතිතුමත්, මමත් අධ්‍යාපන ඇමැතිතුමාත් හොදින්ම දන්නවා. අප සියලූ දෙනාම නිදහස් අධ්‍යාපනයෙන් රජයේ විද්‍යාලවලින් බිහිවූ අයයි. එම නිසා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම අප හොදින්ම දන්නවා. නමුත් අපට ලැබුණු වාසිය අපේ පාසල්වල තිබූ දියුණුව හැම පාසලකම දකින්නට නැහැ. එම දියුණුව සෑම පාසලකටම ලබාදිය යුතුයි.

පාසල් දියුණු තත්ත්වයට ගෙන ඒම සඳහා පාසල් පරීක්‍ෂක මණ්ඩල නැවත ආරම්භ කරනවා. එවිට පාසල් පරීක්‍ෂකවරුන් පැමිණ පාසල් පිළිබඳ වාර්තා ලබා ගන්නවා. එම වාර්තා දෙමාපියන්ටත් ලබා දෙනවා. පාසල පිළිබඳව, විදුහල්පතිතුමා පිළිබඳව මෙන්ම හැම පන්තියක් පිළිබඳව වාර්තා ලබා ගන්නවා. අනාගතයේදී දේශපාලනයෙන් විදුහල්පතිවරුන් තේරීමේ ක්‍රමය අවසන් කරනවා. විදුහල්පතිවරයා පිළිබඳව ජාතික ඇමැතිවරයා හෝ පළාත් ඇමැතිවරයා වගකිව යුතුයි. අදක්‍ෂ විදුහල්පතිවරයෙකු පත් කළොත් ඊට හේතු දැක්විය යුතුයි. දක්‍ෂ විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන් නොමැතිව පාසල් දියුණු කරන්නට බැහැ.

අප අධ්‍යාපනය දියුණු කරන්නේ මෙලෙස විප්ලවකාරී පියවර ක්‍රියාත්මක කිරීමෙනුයි. රට දියුණු කරනවා නම් අප දැනුමෙන් පිරි ආර්ථිකයකට ගමන් කළ යුතුයි. දැනුම පදනම් කරගත් සමාජයකට යා යුතුයි. එලෙස දැනුම ලබාදෙන ආයතනය පාසලයි. පාසලෙන් ආරම්භ කර අප සමාජයට දැනුම ලබා දෙනවා. එදා මෙන් පොත් පත්වල අඩුවක්, පුස්තකාල නොමැතිවීමක් අධ්‍යාපනයට බලපාන්නේ නැහැ. තමන්ට ටැබ්ලට් පරිගණකයෙන් අධ්‍යාපනයෙන් ලබාගත හැකියි. ඇතැම් සිසු සිසුවියන් ජංගම දුරකථනය අධ්‍යාපනය දියුණු කර ගැනීම සඳහා භාවිතා කරනවා. ඒ සියල්ලම අප විසින් සපයා දිය යුතුයි.

එදා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ආරම්භ කළා. ජාතික රජය මූලික වී අප හැම දෙනාටම වසර 13 ක නවීන අධ්‍යාපනයක් ලබාදෙනවා. එය සාර්ථකවීමට නම් හොඳ අධ්‍යාපන සේවක පිරිසක් සිටිය යුතුයි. හොඳ ගුරුවරුන්, දක්‍ෂ විදුහල්පතිවරුන්, දක්‍ෂ අධ්‍යාපන නිලධාරීන්, දක්‍ෂ අධ්‍යාපන පරීක්‍ෂකවරුන් සිටිය යුතුයි. අප දියුණුවට පත් වන්නේ ඒ අනුවයි. ඒ වැඩකටයුත්ත කළ හැක්කේ ජාතික අධ්‍යාපන ආයතනයටයි.

මා එදා ජාතික අධ්‍යාපන ආයතනය ඇරwූයේ කොරියාවේ අධ්‍යාපන සංවර්ධන ආයතනය පදනම් කර ගෙනයි. 1950, 1955 වසරවල කොරියාවේ අධ්‍යාපනය පැවැතියේ අපට වඩා පහළ මට්ටමකයි. එදා අපට ඊට වඩා හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. නමුත් අද කොරියාවට ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. එසේ නම් අප ඔවුන්ගෙන් දැනුම ගෙන ක්‍රියා කළ යුතුයි.

දේශපාලනය නිසා කාලයක් මෙම ජාතික අධ්‍යාපන ආයතනය කඩාවැටී තිබුණා. ජාතික අධ්‍යාපන ආයතනය දියුණු කිරීමට ගත් පියවර පිළිබඳව මා ඇමැතිතුමාට ස්තුතිය පුද කරනවා. එදා ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට කොරියාවෙන් ආධාර ලැබුණා. ජපානය, එංගලන්තය යන රටවල් උපකාර කළා. අප දියුණුවට පත් වූයේ මේ සියලූම පහසුකම් ලබාගෙනයි. ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීම සඳහා එංගලන්තයෙන්, ඇමරිකාවෙන්, ඕස්ටේ්‍රලියාවෙන් උපකාර ලැබුණා. එම තත්ත්වය ඉදිරියට ගෙන යායුතුයි.

අධ්‍යාපනය දියුණු කිරීමට නම් ජාතික අධ්‍යාපනය දියුණු කළ යුතුයි. එම නිසා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමියටත්, එම නිලධාරීන්ටත් අධ්‍යාපන ආයතන ආරක්‍ෂා කිරීම සඳහා විශේෂ වගකීමක් පැවරී තිබෙනවා.
අධ්‍යාපන ඇමැතිතුමාත්, අධ්‍යාපන අමාත්‍යංශයත් නව අධ්‍යාපන වාර්තා සකස් කරනවා. පෙබරවාරි මාසයේදී එම වාර්තා කෙටුම්පත සකස් කොට ඊට පසුව මුදල් අමාත්‍යංශය සමගත් සාකච්ඡා කරනවා. අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය දැනගත් පසුව වාර්තාව සම්පූර්ණ කොට ජනාධිපතිතුමාටත් මටත් එම වාර්තාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. ඒ වාර්තා ලැබුණු පසු අප ඉදිරියට යනවා.

අප සියලූම දෙනාටම අධ්‍යාපනය නඟාසිටුවන වැඩසටහනට එක්විය හැකියි. එමෙන්ම මේ සිසු සිසුවියන් සඳහා රක්‍ෂණ ක්‍රමයක් ද අප හඳුන්වා දී තිබෙනවා. අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න, අධ්‍යාපනයෙන් හැදෙන්න කල්පනා කළ යුතුයි. අධ්‍යාපනයෙන් අපට හොඳ ජීවිතයක් මෙන්ම අනාගතයක් ලැබෙනවා. අපගේ දක්‍ෂකම්, හැකියාවන් අනුව ඉදිරියට යනවා නම් ශ්‍රී ලංකාවට කිසිදු බයක් නැතිව ලෝකයට මුහුණ දිය හැකියි. ඒ වගකීම භාරගත් සැමට මා ප්‍රසංශා කරනවා. ඔබ හමුවේ විශාල අභියෝගයක් තිබෙනවා. ඒ අභීයෝගය ඉටුකරන අතරතුර මා ජාතික අධ්‍යාපන ආයතනයට එක් අවවාදයක් ලබාදීමට කැමැතියි.

මෙම අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කළ විට අප දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපනය ඇති රට බවට පත් වනවා. අපට තවත් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් සමග සංසන්දනය කරන්නට එපා. එවිට අපේ වේගය අඩුවනවා. අපේ රට කොරියාව සමග සසඳන්න. අප අරwන්නේ පහළ තැනකිනුයි. අපට බඩගාගෙන උඩට යෑමට සිදුවේවි. එයින් අපට හොඳ අධ්‍යාපන ක්‍රමයක් බිහිකර ගැනීමට හැකිවේවි. ඒ සඳහා සියලූම දෙනාට වගකීමක් තිබෙනවා. ඒ වගකීමේ දායකත්වය භාර ගන්න. බලගතු ශ්‍රී ලංකාවක් බිහිකිරීම ඔබේ වගකීමයි.