දණ්ඩ නීති සංග්‍රහයට අලුත් වගන්තියක් ඇයි?

දණ්ඩ නීති සංග්‍රහයට අලුත් වගන්තියක් ඇයි?

December 15, 2015   04:42 pm


වත්මන් ආණ්ඩුව දණ්ඩ නීති සංග‍්‍රහයට 291 (ඇ) නැමති වගන්තියක් ඇතුළත්කර ජාතිකවාදය වෙනුවෙන් කැපවෙන රටට හිතැති පිරිස්වලට "මුකවාඩම්" බඳින්නට සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

    අද(15) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ ආණ්ඩුවට චෝදනාකර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද පැවසීය.

     2016 ජනවාරි 08 වැනිදා සාකච්ඡාවට ගෙන සම්මත කිරිමේ අපේක්‍ෂාවෙන් පසුගිය සෙනසුරාදා වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළා. දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පතක් සහ ඊට අනුරූපීව අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පතක් ඒ අනුව ඉදිරිපත්ව තිබෙනවා.

    මේවා ඉදිරිපත්කර ඇත්තේ ඇයි? දණ්ඩ නීති සංග‍්‍රහය කියන්නේ අපරාධ හඳුනා ගනිමින්, අපරාධ සම්බන්ධයෙන් නීති කෘත්‍යයන් සිදු කිරීම සඳහා තිබෙන මූලිකම නීති සංග‍්‍රහය. මෙහි 15 වන පරිච්ඡේදයේ 290 වගන්තියේ සිට 291 ආ වගන්තිය දක්වා ආගමික, වාර්ගික හා ජාතික අසමගියට එරෙහිව ගත හැකි ප‍්‍රතිපාදන ඇතුළත් වෙනවා. යම් ආගමකට එරෙහිව සිදු කරන ක‍්‍රියාත්මකවීම. යම් ආගමික ස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදීම, ආගමික ස්ථානයක අශෝභන ලෙස හැසිරීම, ආගමික ස්ථානයක් අශූද්ධ කිරීමට කටයුතු කිරීම ආදී  ඕනෑම කරුණකට එරෙහිව කටයුතු කිරීමට ඉහත වගන්තිවලින් ප‍්‍රතිපාදන සලසා තිබෙනවා. එසේ තිබියදී තමයි මේ නව සංශෝධනය රැගෙනවිත් තියෙන්නේ.

    මේ සංශෝධනය මගින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 291 ආ වගන්තියට ඉක්බිතිවම පහත දක්වෙන අලූත් වගන්තිය ඇතුළත්කර තිබෙනවා. එය දණ්ඩ නීති සංග‍්‍රහයේ 291ඇ. වගන්තිය ලෙස බලාත්මක කිරීමයි මේ සංශෝධනයෙන් සිදු වන්නේ.

    291ඇ. භාෂිත, ලිඛිත හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන්, හෝ සංඥාවලින්, හෝ දැකිය හැකි නිරූපණවලින්, හෝ අන්‍යාකාරයෙන්, ජන කොටස් අතර හෝ වෙනස් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර, දරුණු කි‍්‍රයා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ, අසන්තෝෂය හෝ, සතුරු බව ඇති කරන හෝ තැත් කරන, නැතහොත් ඊට පොළඹවන හෝ තැත් කරන යමකුට, අවුරුදු දෙකක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරනු ලැබිය යුතුය"
   
    දණ්ඩ නීති සංග‍්‍රහයට මේ 291ඇ. වගන්තිය ඇතුළත්කර ඊට අනුරූපිව අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කළහොත් ලාංකීය සමාජය තුළ මෙතෙක් සිදු නොවූ ආකාරයේ ආගමික හා වාර්ගික ගැටුම් ඇති වෙලා විශාල ජාතික සහ ආගමික අසමගියක් නිර්මාණය වෙනවා. මේ වගන්තිය සම්මත වුණොත් එක් ජන කොටසක හෝ ආගමික කොටසක අසන්තෝෂයට හේතු වේ යැයි සැකයෙන් "මේ සිංහල අපගේ රටයි"ගීතය ගයන්න වෙන්නේ නැහැ. එස් මහින්ද හිමියන්ගේ නිදහසේ දැහැන, නිදහසේ මන්තරය ආදී කවි පංති දරුවන්ට උගන්වන්නට සිදු වෙන්නේ නැහැ, නත්තල් කැරොල් ගීත ගායනා කරන්න වෙන්නේ නැහැ, ඇතැම් දෙමළ ගීත ගයනා කරන්න වෙන්නේ නැහැ, ඉස්ලාම් බැතිමතුන්ට යාඥා කරන්න වෙන්නේ නැහැ. පටු ජාතිවාදී, ආගම්වාදී ඇසකින් බලන පිරිස්වලට මේ වගන්තිය පාවිච්චි කරලා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් ‘ඉහත ක‍්‍රියාවලින් අපට අසන්තෝෂයක් ඇති වෙනවා’ කියලා.

    මේ පිටුපස තිබෙන දේශපාලන උවමනාව කුමක්ද? නීතිය කියන්නේ පාලකයන්ගේ කැමැත්ත. එහෙම නම් මේ වර්තමාන "යහපාලකයන්ගේ" කැමැත්ත කුමක්ද? ඔවුන්ගේ බටහිර හාම්පුතුන්ගේ උවමනාව ඉටුකර දීම. එනම් ජාතික, ආගමික අසමගිය වපුරා මේ රට කැබලි කිහිපයකට බෙදා වෙන් කරදීම. එකිනෙකට සතුරු රාජ්‍ය කිහිපයකට ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කර දීමේ කොන්ත‍්‍රාත්තුව භාර ගත්තු මේ ‘යහපාලකයන්’ ඊට එරෙහිව කටයුතු කරන රටට අසීමිතව අදරය කරන ජාතිකවාදී පිරිස් දඩයම් කිරීමටයි මෙවැනි නීතිමය ප‍්‍රතිපාදන  සකස් කරන්නේ.
   

    අප ජනතාව ආමන්ත‍්‍රණය කරන විට, ඔබ ප‍්‍රවෘත්ති ලියන විට, ගුරුවරයෙක් දරුවන්ට දේශානුරාගය ගැන කියා දෙන විට ‘291ඇ. වගන්තිය හරස් වේවි’ කියන මානසික පීඩනය ඇති කරවන්නයි මේ හදන්නේ. ජාතිකවාදය වෙනුවෙන් කැපවෙන බලවේගවලට මුකවාඩම් බැඳලා, ඔවුන්ට මානසික පීඩනයක් ඇති කරවන්නයි මේ හදන්නේ.