වෙලේ සුදා දුමින්දට සල්ලි දීලා - ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක්

වෙලේ සුදා දුමින්දට සල්ලි දීලා - ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක්

January 27, 2015   03:32 pm

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු‍ මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් දුමින්ද සිල්වාට අයත් සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට උසාවි නියෝගයක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ‍රෝහණ මහතා කියයි.

පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනූව දුමින්ද සිල්වා විසින් මෙරට සියලු මූල්‍ය ආයතනවල පවත්වාගෙන යන සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට අධිකරණ නි‍යෝගයක් ලැබී ඇතැයි අජිත් රෝහණ මහතා එහිදී කියා සිටි‍යේය.

මීට අමතරව දුමින්ද සිල්වාට රටින් පිටවීම වළක්වමින් දී ඇති අධිකරණ නියෝගය දීර්ඝ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දැනට සිදුකර ඇති ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස වෙලේසුදා නැමැත්තා කොළඹ දේශපාලනඥයෙකුට මාසිකව රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ලබාදුන් බව හෙළිවී ඇති ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා පළවිය.

වෙලේසුදා නැමැත්තා පකිස්ථානයේ දී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට ගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ තබාගෙන මේවන විට ප්‍රශ්න කරගෙන යමින් සිටියි.

එම ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහු සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට හෙළි කරගත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, හිටපු පොලිස්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා සැරයන්වරයකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පසුගිය (22) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එසේම ඔහු සමග සම්බන්ධකම් පැවැත් වූ බවට සඳහන් වන පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ඒ ප්‍රකාශ අනුව ඉහත පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති බවත්, ඒ මහතා එහිදී පැවසීය.

මෙම පිරිසෙන් උප පොලිස් පරීක්ෂකවරයා හා සැරයන්වරයා දැනට පොලිස් සේවයේ නැතැයි ද අජිත් රෝහණ මහතා පැවසූ අතර මොවුන් සිදුකළ ප්‍රකාශ ගැන පරීක්ෂණ පවත්වා ඒවා තහවුරු කරගෙන අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවද කියා සිටි‍යේය.