කුඹුරු ගොඩකිරීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න

කුඹුරු ගොඩකිරීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න

April 23, 2013   10:06 am

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුව තිබෙන කුඹුරු ඉඩම් ගොඩකිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා ප්‍රාදේශීය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇති වකවානුවක එවැන්නක් කිසිසේත්ම සිදුනොවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

ඒ පිළිබඳ කරුණු සොයා බලා අදාළ පොලිස් ස්ථානවලට පැමිණි කිරීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වගකීමක් වුව ද ඇතැම් නිලධාරීන් එය මගහැර ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.

උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

උඩ පළාත සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල කුඹුරු ඉඩම් ගොඩකර තිබෙනු තමන් දුටු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එය වත්මන් නීතිය හමුවේ බලවත් වරදක් බව ද පෙන්වාදුන්නේය.

එම නිසා අදාළ තත්ත්වය පිළිබඳ සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.