දක්ෂිණ අධිවේගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු මාට්ටු
August 18, 2026 05:07 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කඩවත පොලිස් ස්ථානය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (17) කඩවත පිටවුම් දොරටුවේදී සිදුකළ පරීක්ෂාවකින් කුෂ් මත්ද්‍රව්‍ය සහ 'mushroom' නැමැති මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කාර් රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තමන් පොලිස් නිලධාරියකු බව පවසා පොලිස් පරීක්ෂකවරයකු බව හැඟවීමට එහි රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා විසින් පොලිස් හැදුනුම්පතක්ද ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් ලද තොරතුරු මත සිදුකළ පරීක්ෂාවේ දී ඔහු පයාගල නාගහ දූව ප්‍රදේශයේ පදිංචි 2024 වර්ෂයේදී රන් ජාවාරමකට සම්බන්ධවී පොලිස් සේවය හැරගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයෙක් බවත් කරුණු අනාවරණය වී ඇත.
ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී පොලිස් නිල ඇඳුම් දාසයක්, මිලිමීටර් නමය වර්ගයේ පතුරොම් හැටඅටක්, ටී පනස් හය වර්ගයේ උන්ඩ දොළහක්, වෙනත් උන්ඩ හයක්, විදේශීය සිගරට් හයසීයක්, මාංචු කුට්ටම් පහක්, පොලිස් සාක්කු සටහන් පොත් දෙකක්, තාවකාලික රියදුරු බලපත්‍ර පොත් දෙකක්, ජංගම දුරකථන අටක්, මත්ද්‍රව්‍ය කිරන තරාදි දෙකක්, අත්විලංගු 5, විශාල මන්නයක්, පිස්තෝල රඳවන 4, සහ වායු රිවෝල්වරයක් සොයාගෙන ඇත.
සැකකරු ජාත්‍යන්තර පොලීසියේ හැඳුනුම්පතක්ද සතු මත්ද්‍රව්‍ය නාශක අංශයේ (නාකොටික්) සේවය කර ඇති 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ පවතින සම්බන්ධය හෙළි කර ගැනීම සඳහා අද (18) මහර මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් වෙයි.
