නෝර්වුඩ් පොලිසිය සහ පන්සල අසල අවදානම් ගස් දෙකක්
August 18, 2026 10:21 am
නෝර්වුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පිහිටි දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින ටර්පන්ටයින් ගස් දෙක වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ගස් ඉතා විශාල ලෙස වැඩී ඇති අතර, ඉන් එක් ගසක් හෝ කඩා වැටුණහොත් නෝවුඩ් පොලිස් ස්ථානයට, ධර්මරාජ විහාරස්ථානයට මෙන්ම අසල පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට ද දැඩි හානි සිදු වීමේ තර්ජනයක් පවතී.
එමෙන්ම, මෙම ස්ථානයට ආසන්නයෙන් බගවන්තලාව - නෝවුඩ් ප්‍රධාන මාර්ගය වැටී තිබීම හේතුවෙන් ගස් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල විය හැකිය.
මේ දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලෙන දැඩි වර්ෂාව සහ පවතින තද සුළං සහිත කාලගුණික තත්ත්වය හමුවේ මෙම ගස් කඩාවැටීමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඔවුන් පවසන්නේ මෙම ගස් කපා ඉවත්කිරීම සඳහා මීට වසර 2කට ඉහතදී ඉල්ලීම් කළත්, මේ දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය.
එබැවින් යම් අනතුරක් සිදුවීමට ප්‍රථම වගකිවයුතු බලධාරීන් වහා මැදිහත් වී මෙම අනාරක්ෂිත ගස් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිති.
