NTC වේලාසටහන්කරු තනතුරට අලුතින් ආ කාන්තාවෝ
August 17, 2026 09:27 pm
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත් වූ නව වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට අද (17) පත්වීමේ ලිපි ප්රදානය කෙරුණි.
එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඉල්ලුම්පත් කැඳවීමෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණ තුළින් උපරිම සුදුසුකම් සපුරා ඇති මෙම 18 දෙනා තෝරාගැනීම සිදුකර තිබේ.
මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණ්‍ය කළේ, වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධකයන් සමගින්, ජීවත්විය හැකි මට්ටමක වැටුපකට අපි ක්‍රමිකව රජයේ සේවකයන් රැගෙන යන බවය.
"අද ඓතිහාසික දවසක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙක් වේලාසටහන්කරු තනතුරට පත්වීම් ලබනවා. මෙම තනතුරු නාමය තවත් වසර 05 ක් වගේ කාලසීමාවක් තුළ වෙනස් වීමට නියමිතයි. මෙහි වගකීම් මෙන්ම කාර්යභාරය හාත්පසින්ම වෙනස් වෙනවා. ප්‍රවාහන ක්ෂේත්රයේ සිදුවන වර්ථනීය වෙනසත් සමගින් මෙම තනතුර ද වෙනස්වීමට නියමිතයි. දෙදහසක් පමණ අයදුම්පත් අතරින් තමයි මේ 18 ක් තොරාගෙන තිබෙන්නේ. ඒ නිසා පත්වීම් ලබන මේ හැමෝම වාසනාවන්තයි. ජාතික ගමනාගමන කොමිශන් සබාවෙන් අද ලබාදෙන මේ පත්වීම් වල විශේෂත්වය වන්නෙ, ඔබ අද පත්වීම් ලබන මේ රජය යටතේමයි ඔබට විශ්‍රාම යන්න වෙන්නෙත්. ඒ වගේම වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධකයන් සමගින්, ජීවත්විය හැකි මට්ටමක වැටුපකට අපි ක්‍රමිකව රජයේ සේවකයන් රැගෙන යනවා."
