22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

August 17, 2026   05:07 pm

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇති පසුබිමක එය මේ වනවිට න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. 

ඒ අනුව අදාළ කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් ඉදිරිපත් කරනු ඇත. 

මෙමඟින් අධිකරණ සංවිධාන (සංශෝධන), 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට  සංශෝධන එක්කිරීමට නියමිතය. 

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඊට මුල් අවස්ථාවේ සිටම ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසකින් විරෝධය එල්ල විය.

විරෝධය මැද අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජය ඉකුත් 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැණින.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි දින 14ක කාලසීමාවක් හිමිවේ.

එම පෙත්සම විභාග කර දින 3ත් - 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.