නාවික යාත්‍රා අනතුරින් අතුරුදන් වූ නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම්

නාවික යාත්‍රා අනතුරින් අතුරුදන් වූ නිලධාරියා සොයා තවදුරටත් මෙහෙයුම්

August 17, 2026   12:26 pm

මොරටුව අඟුලාන මුහුදු තීරයේදී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා තුන්වන දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ මොරටුව අඟුලාන වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 3ක දුරකදී අනතුරට ලක්වූයේ මුර සංචාරයක් නිමවා නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.

ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ප්‍රමුඛව ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, අඟුලාන පොලිසිය එක්ව සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමේදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනුනු අතර ඔවුන් මේ වනවිටත් නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනෙක් නාවික නිලධාරියා සොයා අද (17) තුන්වන දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොමැති බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් ධුරයේ කටයුතු කළ උදයප්‍රිය නැමැති බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩට ගැනීමේ මෙහෙයුම් ඊයේ (16) ආරම්භ වු අතර ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශේෂඥ කිමිදුම් කණ්ඩායම් ආධාරයෙනි.

මුහුදේ පවතින රළු ස්වභාවය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ගොඩට රැගෙන ඒම දුෂ්කර වී තිබේ.