අතුරුදන් වූ පෙළපොත් තොගය සම්බන්ධව විමර්ශනයක්
August 14, 2026 05:37 pm
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළපොත් සහ ක්‍රියාකාරම් පොත් තොගයක් අස්ථානගත වීම සම්බන්ධව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා මහතා පවසයි.
අද (14) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධව පොලීසිය වෙත පැමිණිල්ලක්ද යොමු කර ඇති බවය.
මෙම පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගය ප්‍රවාහනය කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික ප්‍රවාහන ආයතනයක් විසින් සිදුකරන බව පැවසූ ඒ මහතා මෙම අස්ථානගත වූ පොත් තොගයේ වටිනාකම එම ආයතනයෙන් අය කර ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
පසුගිය 12 වැනිදා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලදාරිනියක් විසින් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනාකමකින් යුත් පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිරි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත භාරනොදී ඇති බවට තලංගම පොලීසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබුණි.
මෙලෙස අදාළ බෙදා හැරීමේ මධ්‍යස්ථානය වෙත භාර නොදී ඇති බවට වාර්තා වී ඇත්තේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පළමුවැනි ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892කි.
මෙම පෙළපොත් තොගය ප්‍රවාහනයට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගිවිසුම්ගත මෙම පෞද්ගලික ප්‍රවාහන සමාගම එම පොත් රැගෙන යාම සඳහා පසුගිය මැයි 04 වැනිදා අවසර ගෙන තිබුණත් එම පොත් බෙදාහැරීමට නියමිතව තිබූ නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12කට නියමිත පරිදි බෙදා හැර නොතිබුණි.
