සයුරෙන් එතෙර
තායිවානයට එල්ලවූ සයිබර් ප්‍රහාරය ගැන තොරතුරු
August 14, 2026 02:28 pm
විදේශයක සිට ක්‍රියාත්මක වූ, කෘතිම බුද්ධිය (AI) ආධාරයෙන් සිදුවූ සයිබර් ප්‍රහාර මාලාවක් පසුගිය මාසයේදී තම රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් දියත් වී ඇති බව තායිවානය පවසයි.
මෙය ලොව වාර්තා වූ මෙවැනි ආකාරයේ පළමු තාක්ෂණික ආරක්ෂණ කඩකිරීම් අතරින් එකක් ලෙස සලකනු ලබයි.
තායිවාන ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ජූලි 20 වන දින ආරම්භ වූ මෙම සංකීර්ණ සයිබර් ප්‍රහාරය තම සයිබර් ආරක්ෂණ නිරීක්ෂණ ඒකක මගින් හඳුනාගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර, ජාතික සයිබර් ආරක්ෂණ ආයතනය විසින් මේ පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදන මාලාවක්ද නිකුත් කර තිබුණි.
මෙම අසමාන්‍ය ප්‍රහාරය ප්‍රථමයෙන්ම හඳුනාගත් ඊශ්‍රායල AI සමාගමක් උපුටා දක්වමින් විදෙස් පුවත් වාර්තා කර තිබුණේ, ප්‍රහාරකයින් විසින් තනිව ක්‍රියාත්මක විය හැකි AI භාවිත කරමින්, සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් ලෙස ස්වයංක්‍රීයව ක්‍රියා කළ හැකි ප්‍රහාරාත්මක මෙවලමක් නිර්මාණය කර ඇති බවය.
අදාළ සමාගම වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ, මෙම ප්‍රහාරාත්මක මෙවලම මගින් රාජ්‍ය නිලධාරීන්ගේ ගිණුම් 85කට අධික සංඛ්‍යාවකට ඇතුළුවී පුද්ගලික තොරතුරු වාර්තා 2,500කට වඩා පැහැරගෙන ඇති බවත්ය.
පසුව මෙම ප්‍රහාරය තායිවානයේ න්‍යෂ්ටික ආරක්ෂක ආයතනය මෙන්ම අවම වශයෙන් බලශක්ති සමාගම් 7ක් දක්වාද ව්‍යාප්ත කර ඇති බව පැවසෙයි.
