එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයා බැලිය යුතුයි - කාදිනල් හිමි
August 14, 2026 06:46 am
මෙරට බටහිර මුහුදේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය ගැන රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයාගේ සම සහාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවත් වූ කතෝලික සභාවේ සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩලය සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන් බඳවා ගැනීම සම්බන්ධ වත්මන් ප්‍රගතිය විමසා බැලීම ද මෙහිදී සිදුකළ බවය.
එමෙන්ම රජයට පවරා ගත් පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තූතිය පළ කරන බවය.
කිසිදු භේදයකින් තොරව සියලු සිසුන්ට තමන්ගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කර ගැනීම තම අභිලාෂය බැවින් අධ්‍යාපන ක්ෂේත්රයේ ඇතිව තිබෙන තත්ත්වය නිරාකරණය කරගත යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
