ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

August 14, 2026   06:21 am

වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධී ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී, ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ සහස්පුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට නීතිවිරෝධී ද්‍රව්‍ය විසිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුගේ නිවසක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පසුගිය 12 වැනිදා රාත්‍රී සහස්පුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී එම නිවසේ සිටි 30 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 190 ක් සොයාගෙන තිබේ.

පසුව එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොහු 2025 ජූලි 07 වන දින ගල්කිස්ස පොලිස් වසමේ වටලප්පල පාරේදී යතුරුපැදියකින් පැමිණ සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතන අපරාධයේ යතුරුපැදිකරු බවය.

එමෙන්ම මොහුට මත්ද්‍රව්‍ය සහ ජීව තොරොම් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස සහ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු විභාග වෙමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හඬපට විශාල ප්‍රමාණයක් සංසරණය වී ඇති බවටද නිරීක්ෂණය වී තිබේ. 

සහස්පුර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.