මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවයි
August 13, 2026 06:54 am
මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගලයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) සිදුකෙරුණි.
අද පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
ඒ අනුව අද දින කප් සිටුවීමෙන් පසු 17 වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.
ඉන් අනතුරුව පළමු කුඹල් පෙරහැර 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22 වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.
පළමු රන්දෝලි පෙරහැර 23 වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව එදිනම පෙරහැර සාර්ථකව සිදුකළ බවට පස්වරුවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී භාරදීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වේ.
