බන්ධනාගාරවල ගැටුම් ඇතිවීමට හේතු හඳුනා ගත් බව ඇමති නලින්ද කියයි
August 11, 2026 03:29 pm
බන්ධනාගාරවල ගැටුම් ඇතිවීමට හේතු කිහිපයක් හඳුනාගෙන ඇති බවත් ඒ අනුව ඊට අවශ්‍ය පිළියම් යොදමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට අදාළ ගැටුම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කර ඇති බවය.
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රැඳවියන් සහ නිලධාරීන් ඇතුළු 1,500කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා එහිදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් 61 දෙනෙකු මේ වන විටත් චූදිතයින් ලෙස නම් කර ඇතැයිද පැවසීය.
එමෙන්ම ගැටුමට සම්බන්ධව එක් අයෙකු ඊයේ (10) දිනයේදීද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද සඳහන් කළේය.
තවද මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් 925කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධවද මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධව පුද්ගලයින් හඳුනා ගනිමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා මෙම සිදුවීම් සම්බන්ධව අන්තර් සම්බන්ධයක් මෙන්ම බාහිර පාර්ශ්වයක් සම්බන්ධද යන්නේද සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
