බැටරි ගබඩා බලශක්ති පද්ධති සැප්තැම්බර් මුලදී ජාතික විදුලිබල පද්ධතියට

බැටරි ගබඩා බලශක්ති පද්ධති සැප්තැම්බර් මුලදී ජාතික විදුලිබල පද්ධතියට

August 10, 2026   02:22 pm

රට තුළ ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

මෙම බැටරි පද්ධති මැයි සහ ජුනි මාසවලදී අවස්ථා තුනකදී කොළඹ වරාය හරහා මෙරටට රැගෙනවිත් තිබේ.

පුද්ගලික සමාගම විසින් අනුරාධපුර උපපොළ ආසන්නයේ ඉදිකරන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 85%කින් පමණ අවසන් කර තිබේ.

දිවා කාලයේ සූර්ය බල පද්ධති මඟින් නිපදවන අතිරික්ත විදුලිබලය මෙම බැටරි පද්ධති තුළ ගබඩා කර, රාත්‍රී කාලයේදී අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට නැවත මුදාහැරීමට නියමිතය.

මේ හරහා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම රාත්‍රී කාලයේ ඩීසල් විදුලි බලාගාරවලින් ලබාගන්නා විදුලිබල ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වනු ඇත.

එක් බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකින් මෙගාවොට් 10ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදීමට හැකි වන අතර, පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator Ltd (NSO) සමාගම විසින් සිදු කිරීමට නියමිතය.

බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු අදාළ සමාගම් වෙත පැවරෙන අතර, පරිසරයට අවම බලපෑමක් සහිත ස්ථාවර බලශක්ති සැපයුමක් ලබාදීම මෙම ව්‍යාපෘතිවල අරමුණයි.

මෙම ව්‍යාපෘති මඟින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

තවත් උපපොළ 23ක් සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද මේ වන විට සිදු කෙරෙමින් පවතී.

මෙම පද්ධති තුළ ගබඩා කරන විදුලිබලය අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගම්වල බලධාරීන් ප්‍රකාශ කළහ.