විදේශීය දුම්වැටි තොගයක් සමඟ අයෙකු දැලේ
August 10, 2026 01:05 pm
විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පුත්තලම මුල්ලිපුරම් ප්රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී අදාළ සැකකරු ඊයේ (09) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානයේ නාවික නෞකා තම්බපණ්නි ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී, නීතීවිරෝධී ලෙස ගබඩාකර තිබූ විදේශීය දුම්වැටි 7,000 තොගයක් සමඟ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 49ක් වන නොරොච්චොලේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.
සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
