දේපොළ සොරකමකට කාන්තාවන් තිදෙනෙකු සමග 4ක් අත්අඩංගුවට

දේපොළ සොරකමකට කාන්තාවන් තිදෙනෙකු සමග 4ක් අත්අඩංගුවට

August 7, 2026   06:21 am

දේපොළ සොරකමකට අවශ්‍ය කර සිටි සැකකාරියන් දෙදෙනෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා තවත් සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ජූලි මස 18 වැනිදා නිවසක් බිඳ රුපියල් 14,100,000 (එක්කෝටි හතලිස් එක්ලක්ෂයක්) වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් ආරම්භ කර තිබූ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඊයේ (6) දෙහිවල ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු හා හැටන් පතන ප්‍රදේශයේදී ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සොරකම් කරන ලද රන් කරාඹු ජෝඩු 8ක්, රන් පෙන්ඩන් 4ක්, වළල්ලක්, රන්මාල 10ක්, අත් පළඳනාවක්, රන්මුදු 2ක් ඇතුළු දේපොළ රැසක් පොලිස් භාරයට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකාරියන් අවුරුදු 28, 46, 53 වයස්වල හා සැකකරු 28 වයසේ පසුවන හැටන් පතන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.