නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනපති හමුවෙයි

නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනපති හමුවෙයි

August 5, 2026   05:34 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (05) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති කාර්යාලයේදී හමුවිය.

වැඩ භාරගැනීමෙන් පසු නව යුද හමුදාපතිවරයා, ජනාධිපතිවරයාව නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයවේ.

හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටුකරමින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි යුද හමුදාපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදුකළේය.

මෙහිදී යුද හමුදාපති ධුරයට පත්වූ නිලන්ත ප්‍රේමරත්න මහතාට ජනපතිවරයා සිය සුබපැතුම්ද පිරිනැමීය.

මේ අතර නව යුද හමුදාපතිවරයා කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යය කාර්යාලයේදී, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාද හමුවී සුහද සාකච්ඡාවකද නිරත විය.

එහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙහීදි අදහස් හුවමාරු කර ගන්නා ලදී. මෙම නිල හමුව සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.